Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th December 2023 19:29:02 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරී සහ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් පසුගිය බදාදා (දෙසැම්බර් මස 27) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවූහ.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ වසර 35 කට අධික කාලයක් පුරාවට විවිධ ධූරයන් හොබවමින් සිදුකළ කැපවීම සහ වර්ෂ 2009 ට ප්‍රථම පැවති මානූෂීය මෙහෙයුම් කාලවකවානුව තුළ දියත්කරනු ලැබු මෙහෙයුම් සඳහා දක්වනු ලැබු දායකත්වය සහ සංඥා බළකායේ අභිවුර්ධය වෙනුවෙන් දැක්වු සහයෝගය හා කෘතිවේදය පිරිනැමුවේය

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යේෂ්ඨ නිලධාරිතුමන්ගේ භාර්යාව සහ දියණිය සමඟ සුහද පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව අභියෝගාත්මක කාලවකවානුවන්හි සිදුකළ කැපකිරීම් වෙනුවෙන් ඔවුන් වෙත සිය කෘතඥතාවය පුදකළේය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මඟපෙන්වීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය.

මෙම සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කළේය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1988 සැප්තැම්බර් මස 26 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සහ ඉන්දීය යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 30 සාර්ථකව අවසන් කර දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1990 ඔක්තෝබර් මස 05 දින ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2022 මැයි මස 18 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන එතුමන් ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරී සහ බලකාධිපති ලෙස ධූරයේ රාජකාරි සිදුකරනු ලබයි . එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ 1 සංඥා බලකායේ ඛණ්ඩ භාර නිලධාරී, සටන් පුහුණු පාසලේ ඛණ්ඩ භාර නිලධාරී (ආධුනික බදවාගැනීම්), 1 සංඥා බලකායේ අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි භාර ඛණ්ඩ භාර නිලධාරී මෙහෙයුම් කණ්ඩයේ නිලධාරී අණදෙන, උතුරු - නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවරයාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරි, 21 පාබල සේනාංකයේ සංඥා නිලධාරි, 1 සංඥා බලකායේ විධායක අධිකාරී, 52 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරි, කොළඹ මෙහෙයුම් විධානයේ මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 3 (සන්නිවේදනය), 22 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 3 (මෙහෙයුම්), 515 සහ 563 පාබල බලසේනාවන්හි බලසේනා මේජර්, ගාල්ල කොට්ටාස මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි 2 (පරිපාලනය), 5,7 සහ 2 (ස්වෙච්ඡා) යන සංඥා බලකායන්හි දෙවන අණදෙන නිලධාරි, සාම සධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නිලධාරි උපදේශක - ශ්‍රී ලංකාව, ඉතියෝපියාවේ සහ එරිත්‍රියාවේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයේ හමුදා නිරීක්ෂක (UNMEE), සංඥා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ විධායක අධිකාරී, 7 සහ 9 සංඥා බලකායන්හි අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන සංඥා නිලධාරි කාර්යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (විද්‍යුත් සංග්‍රාමික) සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (සන්නිවේදන), සංඥා පුහුණු පාසලේ සේනාවිධායක, සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, 213 පාබල බලසේනාවේ බලසේනාධිපති, ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් සහ මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සහ ඉදිරි නඩත්තු ප්‍රදේශය - නැගෙනහිර සහ මධ්‍යම ආඥාපති වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

එතුමන්ගේ සේවා කාලය තුළ ඛණ්ඩ භාර නිලධාරීන්ගේ උපක්‍රමික පාඨමාලාව, ඒකක ආරක්‍ෂක නිලධාරීන්ගේ පාඨමාලාව, ඒකක ගිණුම්කරණ නිලධාරීන්ගේ පාඨමාලාව, මූලික පරිගණක පාඨමාලාව, බුද්ධි හා ක්ෂේත්‍ර ආරක්ෂක පාඨමාලාව, නිලධාරීන්ගේ මෙහෙයුම් මාණ්ඩලික රාජකාරි පාඨමාලාව, විභව හමුදා නිරීක්ෂකයින්ගේ සහ මාණ්ඩලික නිලධාරීන්ගේ පාඨමාලාව, පුද්ගලික ආරක්ෂක නිලධාරීන්ගේ පාඨමාලාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව, සංඥා නිලධාරීන්ගේ මූලික පාඨමාලාව - බංග්ලාදේශය, සංඥා කණ්ඩායම් අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ජාතික ආරක්ෂාව සහ යුද පාඨමාලාව - පාකිස්ථානය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දේශපාලන න්‍යාය සහ ප්‍රායෝගික පාඨමාලාව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝලීය තොරතුරු පද්ධති විශ්ලේෂණය සහ යෙදුවුම් පිළිබද පාඨමාලාව, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ රාජ්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ජාතික උපදේශන ඩිප්ලෝමාව, ඉන්දියාවේ දේවි අහ්ලියා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ ආරක්ෂක කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, ස්විට්සර්ලන්තයේ ක්‍රිප්ටෝ පුහුණු මධ්‍යස්ථානයේ තොරතුරු ආරක්ෂාව පිළිබඳ ඩිප්ලෝමාව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව, එක්සත් රාජධානියේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, පාකිස්ථානයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජාතික ආරක්ෂාව සහ යුද පාඨමාලාව පිළිබඳ විද්‍යාවේදී ශාස්ත්‍රපති උපාධිය, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ගැටුම් සහ සාමය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා පරිගණක නිපුණතා බලපත්‍රය ද ඇතුලුව උසස් අධ්‍යාපනික සහ හමුදාමය නොවන පාඨමාලාවන් රැසක් ද හදාරා ඇත.