Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st November 2023 21:37:29 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තෙවන ජ්‍යෙෂ්ඨතම ධූරය වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 21) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරය ද හොබවනු ලබන මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ආගමික වතාවත්හි නිරතවීමෙන් අනතුරුව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ මීට ප්‍රථම උපකරණ මාස්ටර් ජෙනරාල් ධූරය හෙබවූවේය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.

මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1968 දෙසැම්බර් මස 09 දින උපත ලබා කෑගලු මහා විද්‍යාලය සහ දැදිගම මහා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ අධ්‍යාපනයට හා මළල ක්‍රීඩාව තුලින් දස්කම් දක්වමින් සිය පාසල් මෑණියන් වෙත ගෞරවයක් හා කීර්තියක් අත්කර දුන් ක්‍රීඩකයෙකු විය.

වර්ෂ 1988 පෙබරවාරි මස 22 දින යුද්ධ හමුදාවට බැඳුණු එතුමන් දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 29 සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1989 දෙසැම්බර් මස 16 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් පාබල හමුදා රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි.

මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සිය හමුදා දිවිය තුළදී අණ, මාණ්ඩලික හා උපදේශක ධුරයන් රැසක් හොබවා ඇත. වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම වසර 22 කට අධික කාලසීමාවක් පූරාවට මව්බිමේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි පැවති මානුෂීය මෙහෙයුමේදී එතුමන් වෙත පැවරූ සංග්‍රාමික රාජකාරින්හිදී සුවිශේෂී කැපවීමක් දක්වමින් එතුමන් එම රාජකාරින් ඉටුකරනු ලැබීය.

එතුමන්ගේ යුද්ධ හමුදා දිවිය තුළදී, ඒකක බුද්ධි නිලධාරි, 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විධායක අධිකාරි සහ කණ්ඩායම් භාර නිලධාරි, 4 හා 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවන්හි දෙවන අණදෙන නිලධාරි, 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ 4 ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි, 542 පාබල බලසේනාවේ වැඩබලන බලසේනාධිපති, 542 සහ 661 පාබල බලසේනාවන්හි බලසේනාධිපති, ‘නෙළුම් පොකුණ’ මහින්ද රාජපක්‍ෂ රඟහලේ ප්‍රධාන විධායක නිලධාරී, වත්කම් කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ බලඇණි බුද්ධි නිලධාරීන්ගේ පාඨමාලාව, නිලධාරීන්ගේ භඨකාර්ය සම්පාදන හා පාලන පාඨමාලාව, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පාඨමාලාව, විභව නිරීක්‍ෂක සහ මාණ්ඩලික නිලධාරීන්ගේ පාඨමාලාව, නිලධාරීන්ගේ මෝටාර් පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරී පාඨමාලාව - පාකිස්ථානය, මධ්‍යස්ථ වෘත්තීය පාඨමාලාව - පාකිස්ථානය සහ බලඇණි අණදෙන්නන්ගේ පාඨමාලාව - චීනය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ විධායක ඩිප්ලෝමාව, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේ වෘත්තීය හා ගෝලීය සම්බන්ධතා පිළිබඳ ඩිප්ලෝමාව, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ගැටුම් නිරාකරණය සහ නිපුණතා සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමාව, කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය වැනි උසස් අධ්‍යයන පාඨමාලාවන් ද හදාරා ඇත.

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකු වන මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ එම විශ්වවිද්‍යාලය තුලින් ජාතික ආරක්‍ෂාව සහ යුද අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබා ඇත.

රණබිමේ දැක්වූ දක්‍ෂතා වෙනුවෙන් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ‘රණවික්‍රම පදක්කම’ සහ ‘රණශූර පදක්කමෙන්’ ද පිදුම් ලබා ඇත.

මව්බිමේ ඒකීයභාවය සහ යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය උදෙසා දැක්වූ දායකත්වය වෙනුවෙන් නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් සංවත්සර පදක්කම - 1998, ශ්‍රී ලංකා ජනරජ යුද්ධ හමුදා ස්වර්ණ ජයන්ති පදක්කම - 1999, 75 වන නිදහස් දින සැමරුම් පදක්කම - 2023, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, සේවාභිමානී පදක්කම, සේවා පදක්කම සහ විදේශ සේවා පදක්කමෙන් ද එතුමන් පිදුම් ලබා ඇත.

ඔමිලා ජයවර්ධන මහත්මිය සමඟ විවාහ ගිවිසගෙන සිටින මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ එක් දියණියෙකුගේ ආදරණීය පියාණන් වේ.