Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th November 2023 21:53:03 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ රණවිරු ස්මාරකය විවෘත කරයි

වර්ෂ 2009 මැයි මාසයට පෙර පැවති මානූෂීය මෙහෙයුමේදී රට වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ වීරෝදාර කාන්තා සෙබළියන් සිහිකරමින් බොරැල්ල, කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද රණවිරු ස්මාරකය සිකුරාදා (නොවැම්බර් මස 10) දින විවෘත කෙරිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැමිණීමෙන් පසුව සියලුම ආරාධිතයින් අභිනවයෙන් ඉදිකරනු ලැබූ රණවිරු ස්මාරකය අභියස පැවති ආගමික වතාවත් සඳහා එක්වූ අතර, අනතුරුව එතුමන් රණවිරු ස්මාරකයේ සමරු ඵලකය නිරාවරණය කරමින් රණවිරු ස්මාරකය විවෘත කරනු ලැබීය.

සම්ප්‍රදානුකූල රණ බෙර වාදනයෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදූ කාන්තා බලකායේ වීරෝදාර සෙබළියන් 25 දෙනා සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා ගෞරවාචාරය පුදකරනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන්, අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දිවිපිදූ කාන්තා බලකාවේ වීරෝදාර සෙබළියන් 25 දෙනාගේ ළඟම ඥාතීන් සමඟ එක්ව රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාරය පුදකරමින් සිය ගෞරවය පුද කළහ.

හමුදා සම්ප්‍රදායානුකුලව වැයෙන යුද්ධ හමුදා තුර්යවාදක බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ සියලුම ආරාධිතයින් එක්ව තේපැන් සංග්‍රහයක් සඳහාද එක්වූ අතර, එහිදී එතුමන් එම වීරවරියන් 25 දෙනාගේ ළඟම ඥාතීන් සමඟින් සුහදව අදහස් හුවමාරු කර ගත්හ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ මෙම උත්සවය සංවිධානය කරන ලදී. මෙමගින් කාන්තා බලකා සෙබළියන් රට වෙනුවෙන් සිදුකරනු ලැබූ කැපකිරීමේ අතීත මතකයන් සදාකාලික වනු ඇත.

උත්සව අවස්ථාවට කාර්යයයේ නියුතු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණදෙන මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ රට වෙනුවෙන් දිවිපිදූ සෙබළියන් 25 දෙනාගේ ඥාතීන්ද එක් වූහ.