Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th October 2023 13:24:35 Hours

ගජබා රෙජිමේන්තුවේ 40 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

නීර්භීත සහ වීරත්වයෙන් යුත් පාබල හමුදා රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සංවත්සර දිනය ඔක්තෝබර් මස 14 දිනට යෙදී තිබෙන අතර එම රෙජිමේන්තුවේ අභිමානවත් 40 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් අද (14) දින එම රෙජිමේන්තු පරිශ්‍රයේ සැමරුම් උත්සවයක් පැවැත්වීය.

වර්ෂ 1983 දී දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න විසින් ස්ථාපිත කරනු ලැබූ එම රෙජිමේන්තුවේ 40 වන සංවත්සර සැමරුම් උත්සවය සාලියපුර ප්‍රදේශයේ ස්ථාපිත ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවති අතර එම උත්සව අවස්ථාවට දිවයිනේ සෑම ප්‍රදේශයකම සේවයේ නියුතු ගබජා රෙජිමේන්තු සාමාජිකයන් සහභාගී වූහ. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ.ආර්. කලුපහන ආර්එස්පී යූඑස්පී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් විජය විමලරත්න ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර පුදකළේය.

සංවත්සර පෙළපාලියේ ගෞරවාචාරය පුදකිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් එම රෙජිමේන්තු සරඹ භූමිය වෙත කැටුව එනු ලැබීය. සරඹ භූමිය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ටී.ඩබ්ලිව්. විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව විශේෂ පීඨිකාව වෙත කැටුව යනු ලැබීය. අනතුරුව, ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණවලින් සමන්විත පෙළ අණදෙන්නා ප්‍රමුඛ නිලධාරින් 19 සහ සෙසුනිලයන් 427 දෙනෙකුගෙන් සැදුම්ලත් පෙළපාලියේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනමනු ලැබීය.

යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ භටපිරිස් ආමන්ත්‍රණය කරමින් මානුෂීය මෙහෙයුමේදී ගජබා රෙජිමේන්තු සාමාජිකයන්ගේ දායකත්වය, එම රෙජිමේන්තුවේ ප්‍රවීණයන් මව්බිම වෙනුවෙන් සිදුකළ කැපකිරීම සහ ගජබා රෙජිමේන්තුවේ වසර 40 ක ගමන් මඟ පිළිබඳ මතකාවර්ජනය කරනු ලැබීය. එමෙන්ම, එම රෙජිමේන්තුවේ දිවංගත වීරෝදාර රණවිරුවන් වෙත සිය ගෞරවාචාරය පුදකරමින් රණක්‍ෂිතයට පත්ව සුවය ලබන රණවිරුවන් වෙනුවෙන් ඉක්මන් සුවය ද ප්‍රාර්ථනා කරනු ලැබීය.

පෙළපාලියේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් එම කඳවුරු පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කරමින් මෙම අවස්ථාව සනිටුහන් කරනු ලැබීය. සමූහ ඡායාරූපයන් සඳහා සහභාගී වීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීය. එම අවස්ථාවේදී, රෙජිමේන්තු පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ‘King Keterian the Legacy Suite’ නම් මහල් 6කින් යුත් ගජබා රෙජිමේන්තු නිවාඩු නිකේතනය ද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරනු ලැබීය. එම නිවාඩු නිකේතනය සුඛෝපභෝගී කාමර 6 ක් සහ පිහිනුම් තටාකයක් ඇතුළු නවීන පහසුකම් වලින් සමන්විත වේ.

මෙම උත්සව අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයන්, ප්‍රවීණයන්, එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රණක්‍ෂිතයට පත් සාමාජිකයන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.

1 රජරට රයිෆල් බලකාය සහ 1 විජයබාහු පාබල රෙජිමේන්තුව ඒකාබද්ධ කරමින් වර්ෂ 1983 ඔක්තෝබර් මස 14 දින දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න විසින් ගජබා රෙජිමේන්තුව ස්ථාපිත කරනු ලැබීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට පැවති නව රෙජිමේන්තුවක අවශ්‍යතාවය මත බෙදුම්වාදී ත්‍රස්තවාදයට නොබියව මුහුණ දියහැකි නිර්භීත පාබල සෙබළුන් බිහිකරමින් සිවිල් සහ හමුදාව ඉලක්ක කරගත් ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ සහ ම්ලේච්ඡ ප්‍රහාරයන් තුරන් කරමින් මව්බිම එක්සේසත් කිරීමට ගජබා රෙජිමේන්තුව මහත් ප්‍රයත්නයක් සිදුකරනු ලැබීය.

ගජබා රෙජිමේන්තුවේ ප්‍රථම අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් විජය විමලරත්න විසින් ඇතෙකුගේ ශක්තියට සමාන ශක්තිය සහ අද්විතීය යුදමය කුසලතාවයන් පිළිඹිබු කරමින් ‘එකමුතුකම ශක්තියයි’ තේමා පාඨය ඔස්සේ ගජබා රජුට උපහාරයක් වශයෙන් ගජබා යන නමින් මෙම රෙජිමේන්තුව ස්ථාපිත කරනු ලැබීය.