Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th August 2023 23:58:20 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

යුද්ධ හමුදා මුලස්ථානයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියූ‍ සහභාගී විය.

මෙහිදී වියලි ආහාර සලාක පාර්සල් බෙදාදීම සඳහා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියූ‍ සමගින් ජානකී ලියනගේ මහත්මිය, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයු පිඑස්සි සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පි පීඑස්සි එක්වූහ.

එම උත්සව අවස්ථාව අතරතුරදී, යුද්ධ හමුදා සාමාජිකයෙකුගේ දියණියකගේ උසස් අධ්‍යාපන කටයුතු දිරිගැන්වීමේ අරමුණින් එම දියණිය වෙත ටැබ් යන්ත්‍රයක් ද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් පරිත්‍යාග කෙරිණි. එම පරිත්‍යාගය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණය මත සිදුකෙරිණි.

මෙම වියළි ආහාර සලාක පාර්සල් තුළ දෛනිකව භාවිතා වන ආහාර ද්‍රව්‍ය සහ පැකට් කළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගුවිය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වූහ.