Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th August 2023 21:28:57 Hours

ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර ආලෝකමත් කිරීමට යුද්ධ හමුදාව වෙතින් ‘කොප්පරා’ පූජා කරති

ඉපැරණි සම්ප්‍රදායන් අනුව මහනුවර ශ්‍රී දළඳා මාලිගාව මගින් වාර්ෂිකව පවත්වන ඇසළ පෙරහැර මංගල්‍යය විදී සංචාරය කරන මාර්ග ආලෝකමත් කිරීම සඳහා ශ්‍රී දළදා මාලිගාව වෙත යුද්ධ හමුදාව විසින් අඛන්ඩව 10 වන වරටත් කොප්පරා ටොන් 20 ක ප්‍රමාණයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් අද (11) දින පෙරවරුවේ පැවැත්වූ උත්සවයකදී දියවඩන නිලමෙතුමන් වෙත පිළිගන්වන ලදී.

කුරුණෑගල, බෝයගනේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පුරාණ ආගමික වත්පිළිවෙත් හා පැරණි සම්ප්‍රදායන්ට අනුකූලව සෑම වසරක් පාසාම ඇසළ පෙරහැර වෙනුවෙන් කොප්පරා පූජා කරනු ලබයි. ඒ අනුව ඉපැරණි සම්ප්‍රදායන්ට අනුකූලව සම්පූර්ණ දළදා පෙරහැර ආලෝකමත් කිරීම සඳහා පෙරහැරේ පන්දම්කරුවන් වෙත නොකඩවා කොප්පරා සිදුකරයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් කරන ලද ආරාධනයකට අනුව එම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මැතිණියගේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් සහ සම්ප්‍රදායික තේවා චාරිත්‍රවලින් අනතුරුව, කොප්පරා බහාලුමක් ශ්‍රී දළඳ මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා වෙත සංකේතාත්මකව පිරිනැමීය.

බෞද්ධ කොඩි සහ නෙළුම් මල් වට්ටි රැගත් යුද්ධ හමුදා භටපිරිස් විසින් සැදුම්ලත් අලංකාරවත් වූ පෙරහැරකින් කොප්පරා ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රය වෙත රැගෙන යාමෙන් අනතුරුව දියවඩන නිලමේතුමන් විසින් එම උතුම් වූ පිංකම වෙනුවෙන් සහභාගී වූ යුද්ධ හමුදාපතිතුමන් වෙත සමන්පිච්ච මල් බන්දේසියක් පිළිගැන්වීමෙන් අනතුරුව දියවඩන නිලමේතුමන්ගේ නිල කාර්යාලය වෙත පැමිණෙන ලෙස ආරාධනා කරනු ලැබීය.

කොප්පරා තොගය ශ්‍රී දළදා මාලිගාවෙත භාරදීමෙන් අනතුරුව, දියවඩන නිලමෙතුමන්ගේ සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සුහද හමුවේදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඇසළ පෙරහැර, එහි ආරක්‍ෂක වැඩපිළිවෙල සහ අනෙකුත් වැදගත් වූ කරුණු පිළිබඳව අදහස් කිහිපයක් හුවමාරු කර ගන්නා ලදී. එහිදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා යුද්ධ හමුදාවේ අඛණ්ඩ කැපවීම අගය කළ අතර, තවද කොප්පරා සැකසීමේ කටයුතු වලට සම්බන්ධ වූ සියළුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සිය කෘතඥතාව පුදකළේය.

අනතුරුව දියවඩන නිලමේතුමා විසින් යුද්ධ හමුදාවේ රණවිරුවන් නොකඩවා සිදුකරනු ලබන මෙම රණවිරු උත්තම සේවා පූජාව අගයමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහ මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

ඒ අනුව වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය පැවැත්වීමට දින කිහිපයකට පෙර සිදුකරනු ලබන මෙම කොප්පරා පූජාව, ශ්‍රී ලංකාව පාලනය කරන ලද රජවරුන් සහ රාජ්‍ය නායකයින් විසින් සියවස් ගණනාවක් මුළුල්ලේ ආරක්‍ෂා කරගනිමින් ජීවමාන බුදුන් ලෙස සලකන උතුම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් සිදුකරන ලබන අති උතුම් පූජාවක් ලෙස සලකනු ලබයි. යුද්ධ හමුදාව විසින් සියලුම දේවාලවල පෙරහැරවල් ආලෝකමත් කිරීම සඳහා ද සකස් කරන ලද කොප්පරා පූජා කරනු ලැබීය.

වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යයට ගෞරවයක් ලෙස, පෙරහැර විදී සංචාරය කරන මාර්ග ආලෝකමත් කිරීම සඳහා වර්ෂ 2014 සිට කුරුණෑගල, බෝයගනේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කොප්පරා පූජා කරනු ලබයි. වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ භටපිරිස් කැපවීමෙන් පුරා වරසක් මුළුල්ලේ සිටම පොල් වියළීම ආරම්භ කරනු ලබයි.

මෙම උතුම් පිංකම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වූහ.