Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st August 2023 18:51:06 Hours

22 පාබල සේනාංකයේ 26 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 පාබල සේනාංකයයේ 26 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පි එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබූ අතර ඊට සමගාමීව සුබසාධන ව්‍යාපෘති කිහිපයක් ද ක්‍රියාත්මක කරනු ලැබීය.

සංවත්සර දිනයට ප්‍රථම ජුලි මස 14 සහ 15 දෙදින තුළ එම සේනාංක මූලස්ථානය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනාවන් හා ඒකකයන් නියෝජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම් 10 ක සහභාගීත්වයෙන් ‘සේනාංකාධිපති අභියෝගතා කුසලාන ක්‍රිකට් තරඟාවලිය’ පැවැත්විණි.

මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය අඟහරුවාදා (ජුලි මස 18) දින 22 පාබල සේනාංක ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සංවත්සර සැමරුම් උත්සවයේ තවත් එක් අංගයක් ලෙස පසුගිය අඟහරුවාදා (18) දින ‘Missionaries of Charity’ වැඩිහිටි නිවාසය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහනක් සහ ‘රේවත’ ළමා නිවාසයේ ළමුන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා (21) දින සන්ධ්‍යාවේ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවැත්වූ අතර පසුදින මහා සංඝරත්නය වෙත හීල් දානය පූජාකරමින් සංවත්සර දිනය වෙනුවෙන් ආශිර්වාද එක්කරනු ලැබිණි.

සංවත්සර දිනය යෙදී තිබූ පසුගිය සඳුදා (24) දින 22 පාබල සේනාංක මූලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.

සංවත්සර දිනය සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටි එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. එදින සන්ධ්‍යාවේ, සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස්හි සහභාගීත්වයෙන් තවත් සුහද ක්‍රිකට් තරඟාවලියක් ද පැවැත්විණි.

සංවත්සර සැමරුම් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එදින සන්ධ්‍යාව් සංගීතමය වැඩසටහනක් පැවැත්වුණු අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහභාගී විය.

එම අවස්ථාව සඳහා 24, 53 සහ 58 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, 22 පාබල සේනාංක බලප්‍රදේශයේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන් හා අණදෙන නිලධාරීන්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.