Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st July 2023 19:54:31 Hours

1 බලකායේ බලකාධිපතිතුමන් කමාන්ඩෝ බලසේනා මූලස්ථානයේ නිල සංචාරයක

පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් 1 බලකායේ සිව්වන බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය සිකුරාදා (2023 ජූලි මස 28) දින කමාන්ඩෝ බලසේනා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

බලසේනා මූලස්ථානය වෙත සපැමිණි 1 බලකායේ බලකාධිපතිතුමන් බ්‍රිගේඩියර් වී.එම්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ 4 කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන් විසින් එම බලසේනාවේ කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකළහ. ඉන් අනතුරුව, බලකාධිපතිතුමන් එම බලසේනා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

4 කමාන්ඩෝ රෙජිමේන්තුව වෙතින් පවත්වනු ලැබූ ‘ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සහ ත්‍රස්ත විරෝධී පාඨමාලා අංක - 31’ සහ ‘ප්‍රභූ ආරක්‍ෂක පාඨමාලා අංක - 06’ හැදෑරූවන් වෙත සහතිකපත් සහ නිල ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාව සඳහා ද මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

මෙම අවස්ථාවට සහභාගී වූ පිරිස ආමන්ත්‍රණය කළ 1 බලකායේ බලකාධිපතිතුමන් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.