Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th July 2023 18:17:38 Hours

යුද්ධ හමුදා භටපිරිස් ‘විකුම්පුර’ ප්‍රදේශයේ අඩුආදායම් ලාභී පවුල් සඳහා වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙයි

වසර කිහිපයකට පෙර යුද්ධ හමුදාධිපතිතුමන් වන්නි බල ප්‍රදේශයේ 542 පාබල බලසේනාවේ බලසේනාධිපති වශයෙන් රාජකාරී කරමින් සිටියදී මන්නාරම ප්‍රදේශයේ ඉදිකළ ‘විකුම්පුර’ ආදර්ශ ගම්මානයේ ජීවත්වන අඩුආදායම් ලාභී පවුල් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් එම බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි හමුදා සාමාජිකයන්ගේ අනුග්‍රාහකත්වයෙන් සිදුකරන ලදී.

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතාගේද සහාය ඇතිව සුදුසු පවුල් තොරාගෙන වියළි ආහාර සලාක පාර්සල් 25 ඔවුන් වෙතම ගොස් බෙදා දෙන ලදී.

‘විකුම්පුර’ ආදර්ශ ගම්මානයේ බොහෝ පවුල්වල සාමාජිකයන් නිසි ආදායම් මාර්ගයක් නොමැතිව ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවකි. ඒ පිළිබඳව දැනුවත් වූ භටපිරිස් සිවිල්-හමුදා සහයෝගීතාවය වැඩි දියුණු කිරීමේ අරමුණද ඇතිව

රුපියල් 5000.00 පමණ වටිනා කමකින් යුත් කරවල, ධාන්‍ය වර්ග, ටින් කළ ආහාර ආදිය අඩංගු වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙන ලදී.

වැඩසටහන සඳහා 542 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.ආර්.එම්.පී.එන්.බී බඹරදෙණිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී, එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 4 ගජබා රෙජිමේන්තුවේ, 8 විජයබාහු පාබල රෙජිමේන්තුවේ, 15 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීන් සහ 8 විජයබාහු රෙජිමේන්තු භටපිරිස් ද සම්බන්ධ වූහ.