Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th July 2023 19:45:30 Hours

විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත රෙජිමේන්තුවේ ගෞරවාචාරය

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් යූ.එස්.එන්.කේ. පෙරේරා ආර්එස්පී යූඑස්පී වෙත ගෞරවාචාරය පුදිකරීමේ උත්සවයක් පසුගිය ඉරිදා (ජුලි මස 16) දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් යූ.එස්.එන්.කේ. පෙරේරා ආර්එස්පී යූඑස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ. අනතුරුව, රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී එතුමන් දිවංගත රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකළේය.

වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු නිලයන් වෙත සිය ස්තූතිය පුදකළේය. එතුමන් සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටීමෙන් අනතුරුව රෙජිමේන්තු ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.

රෙජිමේන්තුවේ සියලු නිලයන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ කැපවූ සේවය ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

මෙහිදී, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඔමිලා ජයවර්ධන මහත්මිය විසින් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ භාර්යාව වන ලසිකා නදී මුණසිංහ මහත්මිය වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයන්, මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගී වූහ.