Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th July 2023 19:55:30 Hours

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත ගෞරවාචාර

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය ඉරිදා (ජුලි මස 16) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

එම මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 4 ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුදකළහ.

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සංකේතාත්මකව ධූරයේ රාජකාරි කටයුතු භාරදීමේ අවස්ථාව සඳහා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් ද සහභාගී වූහ. එතුමන් සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සියලුම සාමාජිකයන් පැසසුමට ලක්කළ අතර, සිය රාජකාරි කාල සීමාව සනිටුහන් කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබූවේය.

මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සිය බලප්‍රදේශයේ සිවිල් වැසියන් අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් කටයුතු කිරීම වෙනුවෙන් සියලුම නිලයන් වෙත සිය කෘතඥතාවය පුදකළේය.

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි දේශීය සහ විදේශීය පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය මත සිය බලප්‍රදේශයේ අවශ්‍යතා සහිත වැසියන් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම, ජංගම වෛද්‍ය සායන පැවැත්වීම, සිවිල් ජනතාවට වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කිරීම සහ පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීම ආදි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබීය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සහ සේනාංකාධිපතිවරුන් විසින් මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මගපෙන්වීම සහ ලබාදුන නායකත්වය වෙනුවෙන් එතුමන් වෙත ඇගයීමේ සංකේතයන් ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.

2021 වසරේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත් මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී මාස 21 ක කාලසීමාවක් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ධූරයේ රාජකාරි හෙබවූවේය.