Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th July 2023 19:50:30 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නිලධාරීන් වෙනුවෙන් නව නේවාසික ගොඩනැගිල්ලක්

කොස්ගම ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් ඉදිකරනු ලැබූ නේවාසික පහසුකම් සහිත ගොඩනැගිල්ල පසුගිය සඳුදා (ජූලි මස 17) දින විවෘත කර එම බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත පවරාදෙනු ලැබීය.

නේවාසික ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්.මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී පීඑස්සී ගේ සුරතින් නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා පවරාදෙනු ලැබීය.

ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් වර්ෂ 2022 නොවැම්බර් මස 16 දින මුල්ගල තැබූ අතර, යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ භඨපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය මත මාස 8 කට අඩු කාල සීමාවක් තුළ එහි ඉදිකිරීම් කටයුතු නිමකරන ලදී.

මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී පීඑස්සී ගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැඟිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පොල්තෙල් පහන දැල්වීම, කිරි ඉතිරවීම වැනි සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රයන් ඉටුකරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායකතුමන්ගේ උපදෙස් සහ එම මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී ගේ අධීක්‍ෂණය මත 1 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව යටතේ ස්ථාපිත ආරක්‍ෂක සේවා ඉංජිනේරු කාර්යාලයේ භඨපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා ලබාදුන්හ.

මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී පීඑස්සී මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය දැක්වූ සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සිය කෘතඥතාව පළකරමින් ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් ඇගයීමට ලක්කළේය.

උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.