Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th July 2023 20:01:30 Hours

ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 සහ 61 පාබල සේනාංකයන්හි සේවයේ නියුතු භටපිරිස් විසින් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින ජාතික ඩෙංගු මර්දන ව්‍යාපෘතිය තවදුරටත් ශක්තිමත් කරමින් ජුලි මස 14 සිට 16 දින දක්වා රාජ්‍ය නිලධාරීන් සහ ස්වේච්ඡාවෙන් සහභාගී වූවන් සමඟින් එක්ව ක්‍රියාත්මක කරනු ලැබූ ඩෙංගු මර්ධන වැඩසටහනක් සඳහා සිය දායකත්වය දැක්වූහ.

කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, ගාල්ල, මාතර සහ රත්නපුර යන ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බැවින් එම ප්‍රදේශයන්හි පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශ 26 ක් ආවරණය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සම්බන්ධීකරණය මත ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගීතාවයෙන් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත අදාළ ප්‍රදේශවල යුද්ධ හමුදා සාමාජිකයින් 250 කට අධික පිරිසක් මෙම ප්‍රජා ව්‍යාපෘතිය සඳහා සහභාගී වෙමින් මදුරුවන් බෝවන ගෘහස්ථ ප්‍රදේශයන් පරීක්‍ෂා කිරීමේ කටයුතු සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සමඟ එක්ව ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදුකරනු ලැබීය.

යුද්ධ හමුදා භටපිරිස් පාසල්, පොදු ස්ථාන පරීක්‍ෂා කරමින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගනු ලැබීය. ප්‍රදේශයේ ජනතාව අතර ඩෙංගු බෝවීම වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කටයුතු ද මෙහිදී සිදුකරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වෙතින් ලබාදුන් උපදෙස් මත 14 සහ 61 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය අධීක්‍ෂණය කරනු ලැබීය.