Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th July 2023 00:43:39 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 39 වන සංවත්සරය වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 39 වන සංවත්සර සැමරුමට සමගාමීව පසුගිය බදාදා (ජුලි මස 12) දින යුද්ධ හමුදා මුලස්ථානයේ පැවති උත්සවයේදී එහිදී ගැබිණි යුද්ධ හමුදා කාන්තා නිළධාරිනියන් සහ ගැබිණි යුද්ධ හමුදා සෙබලියන් වෙත අත්‍යාවශ්‍ය සලාක පාර්සල් 50 ක් සහ තෑගි පාර්සල් තොගයක් බෙදා දෙන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ උත්සව අවස්ථාවට එම ඒකකයේ ලේකම් චාමා වනසිංහ මහත්මිය, ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ කාර්යය මණ්ඩලයේ කිහිප දෙනෙකුද සහභාගී වූහ.

උත්සව අවස්ථාවේදී ජානකී ලියනගේ මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් කිහිප දෙනෙකු, තෝරාගනු ලැබූ ගැබිණි යුද්ධ හමුදා කාන්තා නිළධාරිනියන් සහ ගැබිණි යුද්ධ හමුදා සෙබලියන් 50 දෙනෙකු වෙත ත්‍යාග පාර්සල් ප්‍රදානය කිරීමට එක් වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමිය සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. අනතුරුව ජානකී ලියනගේ මහත්මිය ඇතුළු පිරිස දිවා භෝජන සංග්‍රහයක් සඳහාද එක්වූ අතර, සංවත්සර සැමරුම සනිටුහන් කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය එම ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන් සමඟින් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ.

උත්සව අවස්ථාවට පැමිණි ජානකී ලියනගේ මහත්මිය චාමා වනසිංහ මහත්මිය විසින් මල් කළඹක් පිරිනමමින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වා යුද්ධ හමුදා සේවා වනිතා ගීතය ගායනා කර යුද්ධයේදි දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් පසුව උත්සවයේ වැඩකටයුතු ආරම්භ කරනු ලැබීය. උත්සව අවස්ථාව අතරතුර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ වසර 39 ඉතිහාසය තුල සිදුකරනු ලැබූ විවිධ සුභසාධන සේවාවන් අතුලත් කෙටි වීඩියෝ පටයක් ද ඉදිරිපත් කරනු ලැබීය.

බෙදාදෙන ලද තෑගි පාර්සල්වල අලුත උපන් බිළිඳුන්ට සහ මව්වරුන්ට අවශ්‍ය සියලුම සනීපාරක්‍ෂක ද්‍රව්‍ය අතුලත් විය. උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකාරක නිලධාරී බ්‍රිගේඩියර් එන් මහවිතාන කේඑස්වී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සියලුම යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන් සහභාගී වූහ.