Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th July 2023 00:49:50 Hours

ලෙබනනයේ ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම සහ ඉන්දියානු බළඇණිය එක්ව සුනඛ පුහුණු අභ්‍යාසයක් පවත්වයි

ජාතීන් අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය සහ අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින්, ජුලි මස 6-9 යන දිනයන්හි නැගෙනහිර කලාපයේ ‘නාකූරා’ (Naqoura) හි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ (UNIFIL) රාජකාරි කරනු ලබන ‘ශ්‍රී බේස්’ (Sri Base) කඳවුරු පරිශ්‍රයේ සහ ඉන්දියානු බලඇණියේ (INDBATT) පුහුණු කරන ලද සුනඛයන් සහ ඔවුන්ගේ භාරකරුවන් යොදා ගනිමින් දින දෙකක දීර්ඝ ‘K-9 ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක්’ පවත්වනු ලැබූය.

24 වන ඉන්දියානු බලඇණියේ අණදෙන නිලධාරී කර්නල් භූපේන්ද්‍ර සිං ගුසේන් (Colonel Bhupendra Singh Gusain) සහ 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම (SLFPC) අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩී.පී.එල්.ටී කළුඅග්ගල ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත මෙම අභ්‍යාසය පැවැත්වීය.

අභ්‍යාසය මගින් දෙරටෙහි බලඇණි දෙකෙහිම K-9 සුනඛයන් සහ ඔවුන්ගේ භාරකරුවන් විවිධ අවස්ථාවන්ට අනුව එම ස්ථානවල කටයුතු කරන අකාරය පිළිබඳව අධ්‍යනය කරන ලදී.

අභ්‍යාසයේදී 24 වන ඉන්දියානු බලඇණියේ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ සුනඛයකු සහ ආරක්‍ෂක සුනඛයකුද ඇතුලුව ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ සුනඛයන් 04 දෙනෙකු එක්ව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය සහිත ධජය සොයා ගැනීම, ගිනි වළලු අතරින් පැනීම, කඩුලු පැනීම, පුද්ගලයෙකු බේරා ගැනීම, භාරකරුවාගේ අණ පරිදි සැකකරුවෙකුට පහර දීම, මත්ද්‍රව්‍ය සොයාගැනීම ආදී විශේෂ හැකියාවන් ප්‍රදර්ශනය කළහ.

ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ K-9 සුනඛයන් 04 දෙනෙකු ඔවුන්ගේ සහජ බුද්ධිය, යෝග්‍යතාවය, දරාගැනීම යන ස්වයං ප්‍රතිචාර දැක්වීමේ හැකියාව පෙන්නුම් කරමින් විශිෂ්ට දස්කම් දැක්වූහ. මෙම පුහුණු අභ්‍යාස මගින් විවිධ පුහුණු ක්‍රමවේද පිළිබඳ තම දැනුම හුවමාරු කර ගැනීමට ද දෙරටෙහි හමුදා සාමාජිකයින් සඳහා අවස්ථාවක් ලැබිණි.

පුහුණු අභ්‍යාසයේ ප්‍රධාන සම්බන්ධීකාරක, පශු වෛද්‍ය සහ ඉන්දියානු බලඇණියේ රීමවුන්ට් පශු වෛද්‍ය බලකායේ ලුතිනන් කර්නල් ඒ.අනීෂ් විසින් සුනඛයන් හැසිරවීම සහ සුනඛයන් සඳහා මූලික ප්‍රථමාධාර ලබාදීම පිළිබඳ දැනුම ලබාදීම සඳහා දේශන සැසියක් පවත්වන ලද අතර, අනතුරුව එම සුනඛයින්ගේ සෞඛ්‍යය තත්ත්වයද පරීක්ෂා කළේය.

වැඩසටහන අවසානයේ සහභාගී වූ සියලුම දෙනා වෙත සහතිකපත් ප්‍රදානය කරන ලද අතර, එම අවස්ථාව සඳහා 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ K-9 සුනඛ අංශය භාර නිලධාරී කපිතන් ඩී.එම්.එස්.එම් දිසානායක, සුනඛ භාරකරුවන් ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ.