Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th July 2023 00:57:56 Hours

නෙළුගල පුරාවිද්‍යා භූමිය ප්‍රතිසංස්කරණයට මුල්ගල් තබයි

මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු, පෙරිල්ලවේලි ග්‍රාම නිලධාරී වසමේ අක්කර තුන්සිය පනහකට අධික භූමි ප්‍රමාණයක පැතිරී ඇති පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා සුවිශේෂී වූ නෙළුගල ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානය බෞද්ධ ප්‍රතිමා 16 කට අධික ප්‍රමාණයකින් සහ නටබුන් වී ඇති ප්‍රතිමා, ලෙන්, සෙල්ලිපි, පොකුණු, ස්මාරක ආදියෙන් සමන්විතය. මෙහි ක්‍රිස්තු පූර්ව 2 සහ 3 වැනි සියවස්වලට අයත් අතීත ශ්‍රී විභූතිය ගෙනහැර පාන ස්තූපයක් සහිත බෞද්ධ නටබුන් ඇති බැවින් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව ඇත.

මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන් පසුගිය බදාදා (ජුලි මස 12) දින නිල වශයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භකල අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ද සහභාගී වීය.

ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට කැටකුඹුරේ ධම්මාරාම හිමි, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 232 පාබල බලසේනාවේ බලසේනාධිපති, ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, 12 ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ පැමිණ සිටියහ. ජන ශූන්‍ය පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති මෙම භූමියෙහි නටබුන් සහ අනෙකුත් පුරාවිද්‍යා ස්ථාන නිධන් හොරුන්ගේ සහ දැව ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නිරන්තරයෙන් ගොදුරුවී ඇත.