Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd July 2023 11:43:11 Hours

මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරි සඳහා 5 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩය පිටත්ව යයි

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා මෙරටින් පිටත්ව යන වෘත්තීයමය වශයෙන් පුහුණුව ලත් යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත 5 සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ (CCC) පළමු කණ්ඩායම වශයෙන් 170 කින් යුත් භටපිරිසක් සෙනසුරාදා (ජූලි 01) දින සන්ධ්‍යාවේ මාලි රාජ්‍යය බලා පිටත්ව ගියේය. ඉතිරි භටපිරිස් අදියර වශයෙන් පිටත්ව යාමට නියමිතව ඇත. සාම සාධක භටපිරිස් කණ්ඩායම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව යන අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති හා යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ මාලි රාජ්‍යය බලා පිටත්ව යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 20 දෙනෙකුගෙන් සහ සෙසු නිලයින් 150 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායමේ සියලුම දෙනාට එහිදී සුභ පැතුම් එක් කරනු ලැබීය. එහිදී එතුමන් එම කණ්ඩායමේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් ඩබ්ලිව්.ඩබ්.එන්.පී වික්‍රමාරච්චි, දෙවන අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ මේජර් ඒ.ඩී බණ්ඩාරනායක ඇතුළු අනෙකුත් යුද්ධ හමුදා සාමාජිකයින් සමගින් අදහස් හුවමාරු කර ගත්හ.

5 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩය සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව යන යුද්ධ හමුදා රෙජිමේන්තු නියෝජනය කරන නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසකගෙන් සමන්විත විය. මෙවර සාම සාධක රාජකාරි සඳහා පිටත්ව යන යුද්ධ හමුදා කණ්ඩායමේ බහුතරය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නියෝජනය කරමින් සහභාගී වේ.

එම අවස්ථාව සනිටුහන් කරමින් මාලි රාජ්‍යය බලා පියත්ව යන පිරිස යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟින් සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. දෙවන කණ්ඩායම අගෝස්තු මස 29 වන දින මාලි රාජ්‍යය බලා පිටත් වීමට නියමිතය.පිටත්ව යන කණ්ඩායමට සුභ පැතීම සඳහා යුද්ධ හමුදා ගමන් පාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.එක්.එස්.එස් ලියනගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස් තිබ්බොටුගේ, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ පවුලේ සාමාජිකයින් ගුවන් තොටුපළට පැමිණ සිටියහ. මීට දින කීපයකට ප්‍රථම 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම විසින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාර පිරිනැමීය.