Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th June 2023 21:31:11 Hours

ධූරයෙන් නික්ම යන 54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත එම සේනාංකයේ ගෞරවාචාරය පුදකරයි

නික්ම යන 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සඳුදා (26) දින මන්නාරම, එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සේනාංක මූලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ. අනතුරුව සිය ධූරයේ රාජකාරින් භාරදුන් බවට දැක්වෙන නිල ලේඛනයේද අත්සන් තැබීය.

එම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ ඡායාරූප කිහිපයකට එක් වූ එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සිය ධූර කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු නිලයන් වෙත ස්තූතිය පුදකළේය. ඉන් අනතුරුව එතුමන් වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානය කරන ලද අතර, පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී වෙමින් භටපිරිස් සමඟින් සුහද අදහස් හුවමාරුවක නිරත විය. එදින සන්ද්‍යාවේ නික්ම යන, 54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත නිළධාරී නිවස්නයේදී සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.

උත්සව අවස්ථාව සඳහා සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසු නිලයින් පිරිසක් සහභාගි වූහ.