Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th June 2023 22:35:48 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි භටපිරිස් මූලිකත්වයෙන් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

වවුනියාව දිස්ත්‍රික් රෝහලේ ප්‍රයෝජනය සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු භටපිරිස් 136 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් එම මූලස්ථාන බලප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා රෝහල වෙත සිය රුධිරය පරිත්‍යාග කිරීමට පසුගිය සෙනසුරාදා (24) දින ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.

වවුනියාව රුධිර බැංකුව සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව එම රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ රුධිර අවශ්‍යතාවය සඳහා වන්නි බල ප්‍රදේශයේ යුද්ධ හමුදා නිළධාරීන් සහ සෙසු නිලයින් සිය රුධිරය පරිත්‍යාග කළහ. මෙම ප්‍රජා සත්කාරක කටයුත්ත වෙනුවෙන් යුද්ධ හමුදා සාමාජිකයින් ලබාදුන් සහයෝගය පිළිබඳව වවුනියාව දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලය විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත ස්තුතිය පුද කරමින්, යුද්ධ හමුදා වෙත ද කෘතවේදීත්වය පිරිනමනු ලැබීය.

රුධිරය දන්දීමේ වැඩසටන සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බළලත් නිලධාරී II ඩී.එම්.ඩී.ආර් ප්‍රියංක 37 වතාවක් සහ විජයභාහු පාබල රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් බී.ඩී.එල්.පී තිලකසිරි 45 වතාවක් ලේ දන් දී තිබූ අතර, එහිදී ඔවුන් වෙත ලේ බැංකුවේ නිලධාරීන්ගේ සුරතින් ඇගයීමේ සහතික පත් පිරිනමන ලදී.

කාලීන අවශ්‍යතාවය මත යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සිදුකරනු ලැබූ මෙම උතුම් කටයුත්ත ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ පැසසුමට ලක්කෙරිණි.