Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th June 2023 22:29:23 Hours

562 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් සිවිල් වැසියන් සඳහා වෛද්‍ය සායන කඳවුරක් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයට අයත් 562 පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධිකරණයෙන් වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය මගින් ඊච්චන්කුලම් ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන සිවිල් ජනතාව වෙත ජංගම වෛද්‍ය සායන කඳවුරක් පසුගිය සෙනසුරාදා (24) දින තවුසියාකුලම් රජයේ පාසල් පරිශ්‍රයේ දී පවත්වන ලදී.

වෛද්‍ය සායන කඳවුර මගින් ප්‍රදේශයේ සිවිල් වැසියන් 200 කට අධික පිරිසකට බෝ නොවන රෝග, රසායනාගාර පරීක්‍ෂණ, ස්කෑනිං පරීක්‍ෂණ සහ දන්ත වෛද්‍ය ගැටළු සඳහා අවශ්‍ය ප්‍රතිකාර සහ උපදේශන සේවා ලබාදෙන ලදී. තවද, රෝග වලින් වැලකී සිටීමේ ආරක්‍ෂණ පිළිවෙත්, පුද්ගල සනීපාරක්‍ෂාව සහ මානසික යහපැවැත්ම පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද එහිදී දැනුවත් කරන ලදී.

වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය එම් මහේන්ද්‍රන්, වවුනියාව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය නිලක්ෂන් ඇතුළු වෛද්‍යවරුන් 25 කට අධික පිරිසකගේ දායකත්වයෙන් මෙම වෛද්‍ය කඳවුර පැවැත්වීය.

56 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ජී.එම්.පී කාරියවසම් ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජී සහ 562 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජේ.එම්.ඒ ජයසේකර ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ එම බලසේනාවේ භටපිරිස් වෛද්‍ය සායන කඳවුර සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ගේ උපදෙස් මත, 56 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ජී.එම්.පී කාරියවසම් ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජී, 562 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජේ.එම්.ඒ ජයසේකර ආර්එස්පී යූඑස්පී, 56 සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් ආර්.සී.එස් දිසානායක ආර්එස්පී, 562 බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා සහයෝගය ලබාදුන්හ.