Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2023 22:01:37 Hours

241 පාබල බලසේනාව පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන පාබල සේනාංකයේ, 241 පාබල බලසේනාව පරිත්‍යාගශීලීන්ගේ සහය ඇතිව අක්කරෛපත්තු ස්වාමි විපුලානන්ද ළමා නිවාසයේ දරු දැරියන් 40 දෙනෙකු සඳහා පාසල් උපකරණ තොගයක් සෙනසුරාදා (24) දින බෙදා දෙන ලදී.

උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගී විය.

241 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.එස්.ඩී.එන් පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ එම බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් ළමා නිවාසයේ දරු දැරියන් 40 දෙනෙකු වෙත රුපියල් 10,000.00 කට අධික වටිනාකමකින් යුත් පාසල් බෑගයක්, පාවහන් යුගලක් සහ ලිපි ද්‍රව්‍ය ඇතුළු පාසල් උපකරණ කට්ටලයක් බෙදා දෙන ලදී.

පරිත්‍යාගයන් සඳහා මූල්‍යමය දායකත්වය රයිගම්පුරවරය 306 A-2 සිංහ සමාජය, වෛද්‍ය ඒ.ඒ.ඊ නුවන් මධුශංක සහ අක්කරෛපත්තුව රෝහලේ වෛද්‍යවරුන්, ඕස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රියන්ති ද සිල්වා මහත්මිය සහ එක්සත් රාජධානියේ පදිංචි ශිරෝන් ගුණවර්ධන, ස්විට්සර්ලන්තයේ පදිංචි පොන්නර්සෙල්වම්, ඔසාකා ලංකා හි අලිකන්, ශිවා ඩිස්ට්‍රිබියුටර්ස් හි එස් සිවදාස යන මහත්වරුන් විසින් ලබාදෙන ලදී.