Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd June 2023 19:20:52 Hours

මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරී සඳහා පිටත්වන 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ගෞරවාචාර පුදකරයි

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම (Combat Convoy Company) සිකුරාදා (23) දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනැමීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියූ වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියූ විසින් එතුමන් එම මූලස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් රෙජිමේන්තු සරඹ භූමිය වෙත කැටුව යාමෙන් අනතුරුව පෙළ අණදෙන්නාගේ ආරාධනයකට අනුව එතුමන් පෙළපාලිය පරික්‍ෂා කරනු ලැබීය. පසුව, හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ.

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා සංකේතාත්මක වැදගත්කමක් එක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ජාතික කොඩිය, එක්සත් ජාතීන්ගේ ධජය, යුද්ධ හමුදා ධජය සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ධජය 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම අණදෙන නිලධාරිතුමන් වෙත පිරිනමනු ලැබූ අතර ඉන් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත්ව යන කණ්ඩායම එම මෙහෙයුම සඳහා සූදානම් බවත් එම වගකීම් භාරගැනීමට සූදානම් බවත් පිළිබිඹූ කරයි.

දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් මුලික කොටගත් 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව නියෝජනය කරන නිලධාරීන් සහ සෙසුනිලයින් ද ඇතුළත් විය.

නිලධාරීන් 20 දෙනෙක් සහ සෙසුනිලයන් 223 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එන්.පී. වික්‍රමාරච්චි කටයුතු කරනු ලබන අතර දෙවන අණදෙන නිලධාරි ධූරය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් එම්.ඒ.ඩී. බණ්ඩාරනායක විසින් හොබවනු ලබයි.

යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල පෙළපාලිය සමාප්ත වීමෙන් අනතුරුව, 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම ආමන්ත්‍රණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් විදේශ විනිමය මෙරටට ගෙන්වීමේ ජාතික ප්‍රයත්නය වෙනුවෙන් මෙම විදේශ මෙහෙයුම සඳහා සහභාගී වන යුද්ධ හමුදා සාමාජිකයන්ගේ කාර්යභාරයේ ඇති වැදගත්කම පිළිබඳවත් එම රාජකාරින්හි නිරතවන විට විනය ඉහළ මට්ටමින් පවත්වාගනිමින් කටයුතු කරන ලෙසත් දැනුවත් කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශනය සමාප්තියේ, සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් සහ ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවති අතර එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් සමඟින් සුහද අදහස් හුවමාරුවක නිරතවිය. ඉන් අනතුරුව, උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ සියලුම සාමාජිකයන් ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ. යුද්ධ හමුදාධිපතිතුමන් මෙම පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) මේ වනවිට සේවයේ නිරතව සිටින 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම සිය රාජකාරීන් ජූලි මස 1 දින 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම වෙත භාරදීමෙන් අනතුරුව යලි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ජේ.බී. වනිගසේකර වීඑස්වී යූඑස්පී, පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ප්‍රමුඛ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ සාමාජිකයන්ගේ ළඟම ඥාතීන් ද සහභාගී වූහ.