Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th June 2023 19:32:06 Hours

241 පාබල බලසේනාවේ භටපිරිස් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංකයට අයත් 241 පාබල බලසේනාවේ භටපිරිස් සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ නිලධාරීන්ගේ සම්බන්ධීකරණය මත පසුගිය සිකුරාදා (ජුනි මස 9) දින අක්කරෙයිපත්තුව, සින්නමුහට්ටුවාරම් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

වෙරළ තීරය කැලි කසල වලින් අපවිත්‍රව පැවතීම පිළිබඳ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී දැනුවත් වීමෙන් අනතුරුව 241 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී සහ 11 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය මත එම පාබල බලසේනාව යටතේ ස්ථාපිත 11 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

වැඩසටහන සමාප්තියේ, භටපිරිස් ප්ලාස්ටික් අපද්‍රව්‍ය, පොලිතින් තහඩු, ටින් සහ කෑන් ඇතුළු දූෂක ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක්රැස් කර ප්‍රතිචක්‍රීකරණ කටයුතු සහ බැහැර කිරීම සඳහා රැගෙන යනු ලැබීය.