Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th April 2023 17:49:21 Hours

යුද්ධ හමුදාවෙන් නුදුරේදි විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීට එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

වසර 34 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ජේ.එම්.එල් ජයසුන්දර ආර්ඩබ්ලිව්පී වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් ඉකුත් සිකුරාදා (21) දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ජේ.එම්.එල් ජයසුන්දර ආර්ඩබ්ලිව්පී වෙත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකරනු ලැබූහ. අනතුරුව එතුමන් එම රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය අභියසදී මානූෂීය මෙහෙයුමේදී දිවිපිදු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් පූෂ්පෝපහාර පුදකළේය.

බ්‍රිගේඩියර් ජේ.එම්.එල් ජයසුන්දර ආර්ඩබ්ලිව්පී සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. උත්සවයේ වැඩ කටයුතු අවසන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, එහිදී සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත බ්‍රිගේඩියර් ජේ.එම්.එල් ජයසුන්දර ආර්ඩබ්ලිව්පී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙනුවෙන් කළ සේවය සහ කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ උපකරණ මාස්ටර් ජෙනරල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඔමිලා ජයවර්ධන මහත්මිය විසින් මෙහිදී නුදුරේදි විශ්‍රාම ගැනීමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ භාර්යාව වන අචලා උදයංගනී ගුණවර්ධන මහත්මිය වෙත ද විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

බ්‍රිගේඩියර් ජේ.එම්.එල් ජයසුන්දර ආර්ඩබ්ලිව්පී එහිදි සියලු නිලධාරීන් අමතමින් සිංහ රෙජිමේන්තුවේ සාමාජිකයෙකු ලෙස තම රාජකාරිය ඉටුකිරීම සඳහා සියලු දෙනා ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.

උත්සව අවස්ථාව සඳහා එම රෙජිමේන්තුවේ මන්ත්‍රණ සභා සාමාජිකයින්, මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගී වූහ.