Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th April 2023 18:15:29 Hours

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

කලාඔය ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් එච්.වී.ඒ සෝමවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පසුගිය සඳුදා (අප්‍රේල් මස 24) දින ආගමික වතාවත් හා හමුදා සම්ප්‍රදායානුකූලව නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් එච්.වී.ඒ සෝමවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එම මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරි කර්නල් අයි.ජී.ජේ.පී. තිලකරත්න යූඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. පසුව, ආගමික වතාවත්හී නිරත වූ එතුමන් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබූ අතර පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළේය.

සමූහ ඡායාරූප කිහිපයකට පෙනීසිටි නව සේනාවිධායකතුමන් යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු සියලුම නිලධාරින් සහ සෙසුනිලයන් ඇමතීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී වූවේය.

නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් එච්.වී.ඒ සෝමවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 142 පාබල බලසේනාවේ බලසේනාධිපති ධූරය හෙබවූවේය.නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන බ්‍රිගේඩියර් ඒ.එම්.එස්. ප්‍රේමවංශ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගෙන් පසුව එතුමන් මෙම ධූරය සඳහා පත්කෙරිණි.