Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th May 2023 21:44:30 Hours

4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ 36 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ 36 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම ඒකක මූලස්ථානයේදී පසුගිය සිකුරාදා (5) දින සැමරුම් උත්සවයක් පැවැත්විණි.

සංවත්සර සැමරුම් වැඩසටහනට සමගාමීව සංවත්සර දිනයට ප්‍රථම ශ්‍රී දළදා මාලිගාව, මාතලේ ශ්‍රී මුත්තු අම්මාන් හින්දු කෝවිල සහ වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී ආගමික වතාවත් පැවැත්විණි.

සංවත්සර දිනයේදී, එම ඒකක මූලස්ථානය වෙත සපැමිණි අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩී.ඩී.ආර් වීරපුර වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, අණදෙන නිලධාරිතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් අමතා සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී විය.

4 ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකය වර්ෂ 1987 මැයි මස 5 දින පිහිටුවනු ලැබූ අතර එම ඒකකයේ සාමාජිකයන් දශක තුනක කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ පැවති මානුෂීය මෙහෙයුමට සක්‍රීයව සිය දායකත්වය දැක්වූහ. මාතෘ භූමියේ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම උදෙසා එම ඒකකයේ නිලධාරින් 21 දෙනෙක් සහ සෙසුනිලයන් 314 දෙනෙකු සිය ජීවිත පූජා කළහ.