Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th May 2023 18:44:00 Hours

14 වන රණවිරු අනුස්මරණ දිනයේදි මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සැමරේ

14 වන රණවිරු අනුස්මරණ දිනය හෙවත් විජයග්‍රහණයේ දිනයට සමගාමීව (මැයි මස 19) දින සන්ධ්‍යාවේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙන් මවුබිම මුදාගැනීම සඳහා දිවිපිදූ වීරෝදාර රණවිරුවන් 28,619 දෙනෙකු වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකිරීමේ උත්සවයක් බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහභාගී වූවේය.

වර්ෂ 2009 ක් වූ මැයි මාසයට පෙර පැවති කුරිරු යුද්ධයේදී මාතෘභූමියේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම උදෙසා යුද්ධ හමුදාවේ (23,962), නාවික හමුදාවේ (1160), ගුවන් හමුදාවේ (443), පොලිස් නිලධාරීන් 2598 ක් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ 456 දෙනෙකු ඇතුළු දේශප්‍රේමී වීරෝදාර රණවිරුවන් සිය ජීවීත පූජාකරනු ලැබූ අතර එම වීරෝදාර රණවිරුවන්ගේ නිර්භීතකම, පරාර්ථකාමී කැපකිරීම සහ උත්තරීතර පරිත්‍යාගය වෙනුවෙන් මෙම උත්සවයේදී පුෂ්පෝපහාර පුදකර ඔවුන් වෙත ගෞරවාචාරය දැක්වීය.

මෙම උත්සවයේදී දිවංගත වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකිරීම සඳහා භික්‍ෂූන් වහන්සේලා, දිංවගත රණවිරුවන්ගේ භාර්යාවන්, ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්, ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන්, ගරු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන්, ගරු අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, ජනාධිපති ලේකම්, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, හිටපු ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, පොලිස්පති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, රණවිරු සේවා අධිකාරියේ සභාපති, ත්‍රිවිධ හමුදාවේ ප්‍රවීණයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.

රණවිරු සේවා අධිකාරිය මඟින් සංවිධානය කරනු ලැබූ 14 වන ජාතික රණවිරු දින සැමරුම් උත්සවයේ ආරම්භය පස්වරු 4.00 ට සනිටුහන් කෙරිණි. එම අවස්ථාවට ගරු අග්‍රාමාත්‍යතුමන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහභාගී වීමෙන් අනතුරුව උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සම්ප්‍රාප්ත විය.

රණවිරු සැමරුම් උත්සවය ආරම්භය සනිටුහන් කරමින් ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී. රණක්‍ෂිතයට පත් ත්‍රිවිධ හමුදාවේ වීරෝදාර රණවිරුවන්, පොලිස් නිලධාරින් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙහිදී සිහිපත් කෙරුණු අතර රණ බෙර වාදනය සහ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකිරීම ආදී අංගයන් උත්සවයේ කැපී පෙණිනි.

රණවිරු සැමරුම් උත්සවයේ වැදගත්ම අවස්ථාව සනිටුහන් කරමින් අතිගරු ජනාධිපතිතුමන් දිවංගත වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව එම වීරෝදාර රණවිරුවන්ගේ ළඟම ඥාතීන් සහ සම්භාවනීය අමුත්තන් ද එම රණවිරුවන් වෙත සිය පුෂ්පෝපහාරයන් පුදකළහ.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් වීරෝදාර රණවිරුවන්ගේ වීරත්වය සහ නිර්භීතත්වය සිහිකිරීමේ පාඨය කියවීමෙන් අනතුරුව හිරු නැගෙනා මොහොතේදිත් හිරු බසිනා මොහොතේදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් වැයෙන මලවුන් සිහිකිරීමේ හා පිබිදීමේ වාදනය සිදුකෙරිණි.