Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th April 2023 18:03:02 Hours

මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතන පරිශ්‍රයේදී අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කරයි

සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන්, මාතෘභූමියේ ඒකීයභාවය උදෙසා සිදුකරනු ලැබූ මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන හා පුනරුත්ථාපන කටයුතුවල නිරතව සිටින වීරෝදාර රණවිරුවන් සඳහා අවුරුදු උත්සවයක් අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතන පරිශ්‍රයේදී ඉකුත් සඳුදා (24) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

මෙම අවස්ථාවට භටකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, යුද්ධ හමුදා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ජේ.බී වනිගසේකර යූඑස්පී, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී වූහ.

2009 මැයි මාසයට පෙර පැවති මානූෂීය මෙහෙයුමේදී කාය දානය ලබාදී රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන් සහභාගී වූ මෙම අවුරුදු උත්සවය සඳහා කොට්ට පොර ගැසීම, කණා මුට්ටිය බිදීම, අලියාට ඇස තැබීම, සංගීත පුටු තරඟය, බැලූන් පිපිරවීම, හැන්ද මත දෙහි ගෙඩිය ගෙන යාම, අන්ධයාට කිරි කැවීම ආදී සම්ප්‍රදායික ක්‍රීඩා රැසක් ඇතුලත් වූහ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත මිහිදු සෙත් මැදුරේ ප්‍රධාන දොරටුව අභියසදී රණක්‍ෂිතයට පත් නේවාසික වීරෝදාර රණවිරුවන් ඉදිරියේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ අත්තිඩිය මිහිදු සෙත් මැදුර සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ටී.එස් බාලසූරිය විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟින් නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ වාට්ටු වෙත ගොස් ඔවුන්ගේ සුවදුක් විමසමින් සුහදව අදහස් හුවමාරු කරගන්නා ලදී. එහිදී ඔවුන් වෙත විශේෂ අලුත් අවුරුදු ත්‍යාග පාර්සල් ද ප්‍රදානය කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ ආරාධිත අමුත්තන් සම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් පසුව එදින උත්සවයේ කටයුතු ආරම්භය කල අතර, එහීදී අලුත් අවුරුදු උදාව සංකේතවත් කරමින් අලංකාරවත් වූ නැටුම් සංදර්ශනයක්ද පැවැත්වීය.

උත්සවයේ කටයුතු අවසානයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අවුරුදු ක්‍රීඩා සඳහා ඉදිරිපත් වී ජයග්‍රහණ ලැබූවන් සඳහා දිරි දීමනා සහ ත්‍යාග බෙදා දෙමින් ඔවුන්ගේ එම කුසලතාවයන් අගයීමට ලක්කරනු ලැබූ අතර, උත්සවය සඳහා සහභාගී වූ සියලුම ආරාධිත අමුත්තන් රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් සමඟින් සම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයක් සඳහාද එක් වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන් මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතනයෙන් පිටත්ව යාමට පෙර, එම සුවතා නිකේතනයේ විශේෂ අමුත්තන් සඳහා වූ පෙතෙහි අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් සටහනක්ද තැබුවේය.