Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2023 23:29:42 Hours

සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී අලුත් අවුරුදු පොළක්

යුද්ධ හමුදාධිපති හා ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ හා ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඉකුත් සිකුරාදා (7) දින ගජබා රෙජිමේන්තු සේවා වනිතා අලුත් අවුරුදු පොළ ආරම්භ කරන ලදී.

ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත ජානකී ලියනගේ මහත්මියගේ මගපෙන්වීම යටතේ ගජබා රෙජිමේන්තු භටපිරිස්වල සහයෝගය ඇතිව ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් විසින් සංවිධානය කරන ලද මෙම අලුත් අවුරුදු පොළෙහි ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ රාශියක් අලෙවිය සඳහා සුදානම් කර තිබුණි.

අලුත් අවුරුදු පොළෙහි භාණ්ඩ අලෙවිය සඳහා වෙළෙඳ කුටි 25 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත්කර තිබූ අතර, එහි එළවලු, පලතුරු, මල් පැල වර්ග සහ ආහාර අලෙවිසැල්, විනෝදාස්වාදය සඳහා වායු රයිෆල් වෙඩි තැබීමේ කුටියකින් ද සමන්විත විය. සෑම ප්‍රදර්ශන කුටියක්ම ගජබා රෙජිමේන්තුවේ ඒකකයන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් ආරම්භකර ඇත.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් සහ ජානකී ලියනගේ මහත්මිය ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ටී.ඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ඇතුළු ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් සමඟින් සාම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වන ලද අතර, අනතුරුව එතුමන් නවීකරණය කරන ලද ‘LED’ බල්බ නිෂ්පාදන ව්‍යාපෘති කුටියේ පීත්ත පටිය කැපීමෙන් තෙදිනක් පුරා පැවැත්වීමට නියමිත අලුත් අවුරුදු පොළේ ආරම්භය සංකේතාත්මකව සනිටුහන් කරනු ලැබීය.

අඩු වියදම් සහිත හරිත ආලෝක බල්බ ව්‍යාපෘතියට අමතරව ආරම්භ කරන ලද ‘ජපන් ජබර’ හා ‘වැටකෙයියා’ යොදා ගනිමින් සිදුකරන බෑග් නිශ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය සහ යුද්ධ හමුදා ලාංඡන සෑදීමේ ව්‍යාපෘතිය ද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් එම ස්ථානයේ දී විවෘත කෙරිණි. මෙම නව ව්‍යාපෘති තුනම ගජබා රෙජිමේන්තුවේ මූලස්ථාන බලඇණියේ මගපෙන්වීම යටතේ මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත් ගජබා රෙජිමේන්තුවේ රණවිරුවන් විසින් ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ ජානකී ලියනගේ මහත්මිය අලුත් අවුරුදු පොළේ සෑම ප්‍රදර්ශන කුටියක්ම නැරඹූ අතර, අනතුරුව සියළුම නිලධාරීන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සමඟින් කඳවුරෙහි ස්ථාපිත පිහිණුම් තටාක පරිශ්‍රයේ පැවති තේ පැන් සංග්‍රහයකට ද එක් වූහ.

අලුත් අවුරුදු පොළ සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පැමිණ සිටියහ.