Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th April 2023 14:00:01 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලස්ථාන බලඇණියේ නව නේවාසිකාගාර ගොඩනැගිලි දෙකක් විවෘත කරයි

යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ කුරුණෑගල, හෙරලියවල පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු මූලස්ථාන බලඇණි පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද නේවාසිකාගාර ගොඩනැගිලි දෙකක් ඉකුත් බ්‍රහස්පතින්දා (6) දින විවෘත කරනු ලැබීය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ඒ.කීර්තිනාථ ආර්ඒස්පී කේඑස්පී පීඒස්සී විසින් ඉතා උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසුව එම රෙජිමේන්තු මූලස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සිය රෙජිමේන්තු අධිපතිතුමන් වෙත පුදකරන ලදී.

ප්‍රථමයෙන්ම යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව නිලධාරීන්ගේ නේවාසිකාගාර ගොඩනැඟිල්ල විවෘත කල අතර, අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමගින් එම පරිශ්‍රයේ නිරීක්‍ෂණ කටයුතු සිදුකරනු ලැබූහ. එහිදී එතුමන් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය මත අවම මූල්‍යමය පිරිවැයකින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමකිරීම පිළිබඳව ඇගයීමට ලක් කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන්, අනතුරුව සෙසුනිලයන් සඳහා ඉදිකරන ලද නේවාසිකාගාර ගොඩනැගිල්ලෙහි නිරීක්‍ෂණ කටයුතු සිදුකරමින් එම ගොඩනැගිල්ල ඉදිකිරීමට ශ්‍රම දායකත්වය ලබාදුන් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සමගින් හා තාක්‍ෂණික දැනුම ලබාදුන් භටපිරිස් සමඟින් සුහඳව අදහස් හුවමාරු කර ගත්තේය.

කඳවුරු පරිශ්‍රය තුල දැනට පවතින ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි ගොඩනැගිලි සඳහා අමතර තෙමහල් නේවාසික ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ද රෙජිමේන්තු අධිපතිතුමන් වශයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙහිදී මුල්ගල තබන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟින් මූලස්ථාන බලඇණි පරිශ්‍රය තුළ නිරීක්‍ෂණ සංචාරයක් සිදු කරමින් කඳවුරු පරිශ්‍රයෙහි අනෙකුත් සියලුම ඉදිකිරීම් කටයුතුවල වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් වූ අතර, ඒ අනුව එතුමන් විසින් භටපිරිස් වෙත අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

විවෘත කිරීම් සහ කඳවුරු පරිශ්‍රය තුළ නිරීක්‍ෂණ සංචාරයන් සිදුකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී එම රෙජිමේන්තුවේ මන්ත්‍රණ සභාවේ සාමාජිකයින් සමඟින් සාකච්ඡාවක් සඳහාද එක්වූහ.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.