Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st April 2023 20:34:24 Hours

අතිගරු ජනාධිපතිතුමන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ පොලිස් නිලධාරින් අමතයි

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෙනසුරාදා (1) දින අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සංචාරයක නිරත වෙමින් වන්නි ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදා නිලධාරින්, සෙසුනිලයන් සහ පොලිස් නිලධාරින් ආමන්ත්‍රණය කළේය.

මෙම අවස්ථාව සඳහා ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පොලිස් නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.

එහිදී අතිගරු ජනාධිපතිතුමන් සිදුකළ දේශනය පහතින් දැක්වේ:

“මා ජනාධිපති ධූරයේ සිටින තාක් කල් රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ

ත්‍රස්තවාදී යුද්ධය ජයගත්තා සේම, ආර්ථික යුද්ධය ද ජයගෙන රට තුළ ආර්ථික ස්වාධීනත්වයක් ඇති කරනවා.

ත්‍රස්තවාදී යුද්ධය ජයගත්තා සේම, ආර්ථික යුද්ධය ද ජයගෙන රට තුළ ආර්ථික ස්වාධීනත්වයක් ඇති කරන බවත් රට අරාජික වීමට ඉඩ නොතබා, වගකීම ඉටු කළ සියලු ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට ජනපතිගේ ප්‍රණාමය පුදකරන බවත් මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමට දැඩි නීති ගෙන එන බවත් ජනපතිතුමා ආරක්‍ෂක අංශ සාමාජිකයන් අමතමින් පැවසීය.

රට අරාජික වීමට ඉඩ නොතබා, වගකීම ඉටු කළ සියලු ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට ජනපතිගේ ප්‍රණාමය.

තමා ජනාධිපති ධූරයේ සිටින තාක් කල් රටේ නීතිය හා සාමය කඩ කිරීමට නැවත කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. තමා සිටින්නේ හරි දේ කිරීමට මිස ජනප්‍රිය දේ කිරීමට නොවන බව පැවසූ ජනාධිපතිවරයා ජනප්‍රිය සංකල්ප ඉදිරිපත් කිරීමෙන් සිදු වුයේ රට විනාශ වීම පමණක් බව ද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සේනාධිනායක ලෙස, අද (01) පස්වරුවේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා සෙසු නිලයන් අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

සාමකාමීව නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට හෝ තමා විවේචනය කිරීමට ඕනෑම පාර්ශ්වයකට අයිතියක් ඇති මූත් වීදිවල කෝළහල කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

හරි දේ කිරීමට සියලු දෙනා ඉගෙන ගත යුතු අතර තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේ රට වෙනුවෙන් හරි දේ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ශක්තියක් ඇත්දැයි පරික්‍ෂා කිරීමට බව ද පැවසීය.

එය උදාහරණයක් කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලුදෙනාගේ සහාය ලබා ගැනීමට අපේක්‍ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා අලුතින් සිතා අලුත් ගමනක් ගියහොත් වසර 25 කට පෙර රට තුළ දැවැන්ත සංවර්ධනයක් උදාකර හැකි බව ද කියා සිටියේය.

ත්‍රස්තවාදී යුද්ධය ජය ගත්තා සේම ශ්‍රී ලංකාවේ ආර්ථික යුද්ධය ජයගෙන ආර්ථික ස්වාධීනත්වයක් ඇති කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වය නිරන්තරයෙන්ම අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් පසුගිය වසරේදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ක්‍රියා කළ ආකාරය ඇගයීමට ලක් කළේය.

ඔවුන් එලෙස තම වගකීම ඉටු නොකළානම් මේ වන විට ශ්‍රී ලංකාව අරාජික රාජ්‍යක් වීමට ඉඩ තිබූ බවද ජනාධිපතිවරයා කියා සිටියේය. ලෝක බලවතුන් අතර මේ වන විට පවතින තරගය ඉන්දියන් සාගරයට දැඩිව බලපාන බවත් ඉන් ශ්‍රී ලංකාව මුදා ගැනීමට ජනාධිපතිවරයා ලෙස තමන් කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අතීතයේ පැවති යුධමය තත්ත්වයන් මෙන් නොව අනාගතයේ දී ඇතිවිය හැකි යුදමය තත්ත්වයන් තාක්‍ෂණය සහ දැනුම කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය විය හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම අභියෝග ජය ගැනීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නවීන තාක්‍ෂණයෙන් සහ දැනුමෙන් සන්නද්ධ කළ යුතු බවත්, අපගේ ආරක්‍ෂක හමුදාවන් ශක්තිමත් කරමින් Defence 2030 වැඩසටහන ආරම්භ කිරීමට අපේක්‍ෂා කරන බව ද පැවසීය.

මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට කිසිඳු සමාවක් ලබා නොදෙන බවත්, ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිය, සාමය සහ අධිකරණ අමාත්‍ය ටිරාන් අලස් මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාට තමා උපදෙස් ලබාදී ඇති බවත් පැවසීය. එමෙන්ම මේ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමට අපේක්‍ෂා කරන බව ද වැඩිදුරටත් පැවසීය.”

අතිගරු ජනාධිපතිතුමන්ගේ දේශනය ආරම්භ කිරීමට ප්‍රථම, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත පිළිගැනීමේ කථාව පැවැත්වීමට ආරාධනා කළේය. දේශනය සමාප්තියේ අතිගරු ජනාධිපතිතුමන් එම පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම මෙම අවස්ථාවට සහභාගී වූවන් සමඟින් සුහද අදහස් හුවමාරුවක ද නිරත වූවේය.

(මූලාශ්‍රය: ජනාධිපති මාධ්‍ය අංශය)