Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th March 2023 13:01:30 Hours

‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ හා පියවර කෝදු තරඟාවලිය - 2022’ නැරඹීමට පාසල් සිසු සිසුවියන් එක්වෙති

‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ හා පියවර කෝදු තරඟාවලිය - 2022’ හි ජයග්‍රාහී කණ්ඩායම් සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සරඹ භූමියේදී ඉකුත් අඟහරුවාදා (14) දින පවත්වනු ලැබීය.

ප්‍රේක්‍ෂකයන් සහ සම්භාවනීය අමුත්තන් රැසක සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේදී යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් සහභාගී වූ එම සරඹ කණ්ඩායම් ඉදිරිපත් කරනු ලැබූ සරඹ සහ තූර්ය වාදක අංගයන් මඟින් උත්සවයට අලංකාරවත් බවක් සහ අභිමානයක් එක්විය. තරඟාවලිය 2022 නොවැම්බර් මස 15 දින සිට 21 දින දක්වා රෙජිමේන්තු මට්ටමින් තරඟ පැවැත්විණි.

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විනය සහ පැවැත්ම උසස් මට්ටමින් පවත්වාගෙන යාමේ තරඟ ඉසව්වක් ලෙස යුද්ධ හමුදාව තුල අන්තර් රෙජිමේන්තු සරඹ සහ තූර්ය වාදක හා පියවර කෝදු තරඟාවලිය පැවැත්වේ.

යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඒ.යූ කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙ‍නරල් විකුම් ලියනගේ සහභාගී වූයේය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ. අනතුරුව රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමෙන් පසුව යුද්ධ හමුදා ගීතය ගායනා කළහ. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පිරිනැමූහ.

ඉන් අනතුරුව යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් සහභාගී වූ සරඹ සහ තූර්ය වාදක කණ්ඩායම් විසින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අත්පොලසන් නාද මධ්‍යයේ සිය දස්කම් ප්‍රදර්ශනය කරන ලදී.

‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ හා පියවර කෝදු තරඟාවලිය - 2022’ හි වැදගත්ම අවස්ථාව ලෙස ජයග්‍රාහී කණ්ඩායම් සහ ජයග්‍රාහකයින් සඳහා සම්මාන සහ ත්‍යාග ප්‍රදානය කිරීම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ත්‍යාග ප්‍රදානෝත්සවය සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම අවස්ථාවට රැස්ව සිටි පිරිස අමතා ජයග්‍රාහකයින් සහ සහභාගි වූ සියලුම කණ්ඩායම් වෙත සිය සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව ඔවුන් සමඟින් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය.

එම අවස්ථාවට සහභාගී වූ දිවයින පුරා පිහිටි පාසල් 21 ක සිසු සිසුවියන් විශාල පිරිසක් ඉතා උද්යෝගයෙන් යුතුව මෙම තරඟාවලිය නැරඹූ අතර, මෙවැනි තරඟයක් නැරඹීමට විශාල පාසල් සිසු සිසුවියන් පිරිසක් සහභාගී වූ පළමු අවස්ථාව මෙය විය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ තවත් ආරාධිතයින් රැසක් සහභාගී වූහ.

තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ කණ්ඩායම් සහ තරඟකරුවන් පහතින් දැක්වේ:

දක්‍ෂතම සරඹ කණ්ඩායම - පිරිමි

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා පාබල හමුදාව

දෙවන ස්ථානය - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව

තෙවන ස්ථානය - ගැමුණු හේවා රෙජිමේන්තුව

දක්‍ෂතම සරඹ කණ්ඩායම - කාන්තා

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

දෙවන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

දක්‍ෂතම කණ්ඩායම් අණදෙන නිලධාරි

ප්‍රථම ස්ථානය - කපිතන් ඒ.එච්.ටී.ඩබ්ලිව්.පී හේවගේ - ශ්‍රී ලංකා පාබල හමුදාව

දෙවන ස්ථානය - කපිතන් එම්.ඒ.එල්.පී.එම් මුතුආරච්චි - ගැමුණු හේවා බලකාය

තෙවන ස්ථානය - කපිතන් ඩබ්ලිව්.එම්.එච්.එස්.බී වීරකෝන් - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව

දක්‍ෂතම කණ්ඩායම් අණදෙන නිලධාරිනී

ප්‍රථම ස්ථානය - කපිතන් ඩී.එච්.එම් වීරසේකර - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

දෙවන ස්ථානය - ලුතිනන් ඩී.ආර්.එච් දංගම්පොල - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

දක්‍ෂතම පියවර කෝදු කණ්ඩායම

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව

දෙවන ස්ථානය - ගැමුණු හේවා බලකාය

තෙවන ස්ථානය - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය

දක්‍ෂතම සරඹ උපදේශක

ප්‍රථම ස්ථානය - බළලත් නිලධාරී II ටී.පී.එසු.කේ පෙරේරා - ගැමුණු හේවා රෙජිමේන්තුව

දෙවන ස්ථානය - බළලත් නිලධාරී II එල්.බී ජයකොඩි - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව

තෙවන ස්ථානය - බළලත් නිලධාරී II ජී.පී.ජී.එන් කරුණාරත්න - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය