Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th March 2023 12:39:02 Hours

පුහුණු උපදේශකවරුන්ගේ ප්‍රශංසනීය සේවය වෙනුවෙන් ‘යුද්ධ හමුදාධිපති ප්‍රණාම සහතික’ පිරිනැමේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් පුහුණු උපදේශකවරුන්ගේ විශිෂ්ඨ සේවය ඇගයීමට ලක්කරමින් උපදේශකවරුන් 16 දෙනෙකු වෙත පසුගිය බදාදා (මාර්තු මස 08) දින යුද්ධ හමුදා මුලස්ථානයට ආරාධනා කිරීමෙන් අනතුරුව ඔවුන් වෙත ‘යුද්ධ හමුදාධිපති ප්‍රණාම සහතිකපත්‍ර’ ප්‍රදානය කරන ලදී.

ජාතික ශිෂ්‍යභට බලකාය වෙත ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවයේදි පුහුණු උපදේශකයින් ලෙස විශිෂ්ඨ කාර්යභාරයක් ඉටුකරනු ලැබූ යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් වෙත මෙම ඇගයීම් සහතිකපත්‍ර ප්‍රදානය කරනු ලැබීය. යුද්ධ හමුදාවට බැදුණු දින නොකැලැල් සේවාවක් ඉටුකරනු ලබන 22 පාබල සේනාංකයේ රියදුරෙකු වෙතද මෙම ඇගයීම් සහතිකය ප්‍රදානය කරන ලදී.

සේවා ඇගියීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඔවුන්ට සුබ පැතුම් එක් කළ අතර, ඉදිරියේදීත් ඔවුන්ගේ කැපවූ සේවය අඛණ්ඩව ලබාදෙන ලෙස උපදෙස් ලබාදුන්නේය.

මෙම අවස්ථාව සඳහා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.එස්. ෆොන්සේකා යූඑස්පී පීඑස්සී සහ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ද සහභාගී වූහ.