Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st March 2023 12:22:00 Hours

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 14 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට සූදානම්

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) ශ්‍රී ලංකා යුද්ධ හමුදා 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම (SLFPC) නියෝජනය කරමින් සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත යුද්ධ හමුදා භට කණ්ඩය ඉකුත් අඟහරුවාදා (28) දින උදෑසන පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත හමුදා ගෞරවාචාර පිරිනමනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඉතා උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය කාලතුවක්කු හමුදා භටපිරිස් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනමන ලදී.

අනතුරුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුදා ගෞරවාචාර පුදකිරීම සඳහා සරඹ භූමිය වෙත කැටුව යනු ලැබීය. එහිදී 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම විසින් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරයේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පුදකරනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම සහභාගී වීම සංකේතවත් කරමින්, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ජාතික ධජය, එක්සත් ජාතීන්ගේ ධජය, යුද්ධ හමුදා ධජය සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ධජය ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ අණදෙන නිලධාරී වෙත භාර දෙන ලදී.

ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක කණ්ඩායම නිලධාරින් 10ක්, සහ සෙසු නිලයින් 115 දෙනෙකු ඇතුලුව යුද්ධ හමුදා සාමාජිකයින් 125 දෙනෙකුගෙන් සමන්විත අතර ඊට ලුතිනන් කර්නල් ඩී.පී.අයි.ටී කළුඅග්ගල ආර්එස්පී යූඑස්පී අයිජී අණදීම සිදුකරන අතර, මේජර් ඩබ්ලිව්.එම්.සී.කේ වන්නිනායක 2 වන අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකාය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාජිකයන් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතව ඇත.

හමුදා සම්ප්‍රදායානූකූල සරඹ පෙළපාලියෙන් අනතුරුව හමුදාධිපතිතුමන් එම භටපිරිස් අමතා රටට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සාම සාධක රාජකාරීන්හී ඇති වැදගත්කම අවධාරණය කළේය. ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය තුල මෙරට යුද්ධ හමුදා කණ්ඩායම ප්‍රමුඛස්ථානයක් ලබාගෙන ඇති බවත් මින් ඉදිරියටද එය තවතවත් වර්ධනය කරගමින් කටයුතු කිරීමේ වැදගත්කමත් එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් අවධාරණය කළේය.

2010 වර්ශයේදී දී ලෙබනන් මෙහෙයුම ආරම්භ කළ අතර, අපගේ පුහුණුව සහ අත්දැකීම් අපව කැපී පෙනෙන ස්ථානයක තබා ඇති බවත් එම නිසා මෙම මෙහෙයුම ඵලදායී ලෙස පවත්වා ගැනීමට අපට හැකියාව ලැබී ඇති බවත් යුද්ධ හමුදාධිපතුමන් එහිදි සඳහන් කළේය.

එසේම එක්සත් ජාතීන්ගේ සාම සාධක භටපිරිස් සහ ලෙබනනයේ සිවිල් ජනතාව අතර සුහදත්වය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා වඩාත් ඉහල මට්ටමක සම්බන්ධතාවයක් පවත්වා ගැනීම, සහ සෑම විටම එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන් වර්ධනය කිරීමට දායක වීමේ වැදගත්කම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් අදහස් දැක්වීය.

සියලු දෙනාම ශ්‍රී ලංකා ජනරජය නියෝජනය කරමින් මෙම සාමසාධක රාජකාරීන් හි නියැලීමට නියමිත බැවින් ශ්‍රී ලංකා නාමය ඉහලින් ඔසවා තබා ගැනීමට හැකිවන ආකාරයට විනය ඉහලම මට්ටමින් පවත්වා ගෙන කැපවීමෙන් සිය රාජකාරිය ඉටුකරන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් එහිදි සඳහන් කළේය.

14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මූලස්ථාන ආරක්‍ෂක රාජකාරි භාරගැනීමෙන් අනතුරුව, දැනට ලෙබනනයෙහි රාජකාරී සිදුකරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා 13 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම මාර්තු මස 01 හා 02 දිනයන්හිදී දිවයිනට පැමිණිමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.