Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th February 2023 14:03:40 Hours

CISM මාර්ග ධාවනය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 300 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වේ

ලෝක හමුදා දින සැමරුම සනිටුහන් කරමින් සෙනසුරාදා (18) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ගුවන් හමුදා ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරුණු ‘CISM මාර්ග ධාවනය’ සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 300 කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙම වසරේ ගුවන් හමුදා ක්‍රීඩාංගණයෙන් ආරම්භ වූ ‘CISM මාර්ග ධාවනය’ කිලෝමීටර් 4 ක දුරක් ගෙවා ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයෙහිදීම සමාප්ත කෙරිණි. සෑම වසරකම ‘CISM මාර්ග ධාවනය’ සඳහා සුවිශේෂීත්වයක් එක්කරමින් ත්‍රිවිධ හමුදාධිපතිවරුන් ප්‍රමුඛ යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන්හි සාමාජිකයන් සියදෙනෙකු බැගින් මෙම මාර්ග ධාවනය සඳහා සහභාගී වූ අතර ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ක්‍රීඩා හැකියාවන් සබැඳිව ජාත්‍යන්තර පිළිගැනීම එතුලින් පිළිබිඹූ කරයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද මෙවර ‘CISM මාර්ග ධාවනය’ සඳහා සහභාගි වූ සෑම හමුදා සාමාජිකයෙකු සඳහාම සහතික පත්‍රයක් පිරිනැමිණි. සහතිකපත් බෙදාදීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් ද සහභාගී විය.

1948 පෙබරවාරි මස 18 දින ප්‍රංශයේ, නයිස් ප්‍රදේශයේදී ආරම්භ කරන ලද අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය ලොව විශාලතම බහුවිධ සංවිධානයන්ගෙන් එකකි. සාමාජික රටවල් 140 ක සන්නද්ධ හමුදාවන් සඳහා විවිධ ක්‍රීඩා ඉසව් සංවිධානය කරන සහ එම ඉසව් නියෝජනය වන ගෝලීය ක්‍රීඩා සංවිධානවලින් එකක් වශයෙන් CISM හැඳින්විය හැකියි. මීට ප්‍රථම යුද පිටියේදී හමු වූ හමුදා සාමාජිකයන් වර්ථමානයේ විවිධ ක්‍රීඩාවන් නියෝජනය කරමින් ක්‍රීඩා පිටියේදී මුණගැසේ. මෙලෙස සාමාජික රටවල් අතර මිත්‍රශීලීත්වය ගොඩනඟාගැනීම සඳහා 1998 වසරේදී සියලුම සාමාජික රටවල් විසින් අත්සන් කරන ලද CISM හි මෙහෙවර ප්‍රකාශයේ ඉහත සඳහන් කර ඇති අන්‍යෝයන්‍ය බැඳීම් පිළිබඳව සඳහන් වේ.

සියලුම ජාතීන්ට අයත් සන්නද්ධ හමුදා සාමාජිකයන් වෙත ක්‍රීඩාව ඔස්සේ ශාරීරික පුහුණුව, පෙර සූදානම සහ අධ්‍යාපනය ලබාදෙමින් සොල්දාදුවන් අතර මිත්‍රත්වය ප්‍රවර්ධනය කරනු ලබන ලෝක ව්‍යාප්ත ජාත්‍යන්තර හමුදා ක්‍රිඩා සංවිධානය ලෙස CISM හැඳින්විය හැකිය. CISM හි ප්‍රධාන ලේකම් කාර්යාලය බ්‍රසීලයේ ස්ථාපිත කර ඇත.