Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st February 2023 23:06:11 Hours

75 වන නිදහස් දිනයට සමගාමීව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ‘75 වන ජාතික නිදහස් දින සැමරුම් පදක්කම’ සහ ‘විශිෂ්ඨ සේවා විභූෂණ’ පදක්කම පිරිනැමේ

75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව විනයගරුක, කීර්තිමත්, නොකැළැල් සහ පක්‍ෂපාතීව වසර 25 කට නොඅඩු සේවා කාලයක් සම්පූර්ණ කළ විශ්‍රාමික සහ සේවයේ යෙදී සිටින යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 53 දෙනෙකු, නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 17 දෙනෙකු සහ ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 07 දෙනෙකු වෙත ‘විශිෂ්ඨ සේවා විභූෂණ’ පදක්කම පිරිනැමීම අද (01) දින මහනුවර ජනාධිපති මන්දීරයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී සිදුකෙරිණි.

උත්සවය අතරතුරදී, අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් යුද්ධ හමුදා නිලධාරින් 6 දෙනෙකු හා සෙසුනිලයන් 4 දෙනෙකු, නාවික හමුදා නිලධාරින් 2 දෙනෙකු හා සෙසුනිලයන් 3 දෙනෙකු සහ ගුවන් හමුදා නිලධාරින් 3 දෙනෙකු සහ සෙසුනිලයන් 2 දෙනෙකු වෙත ‘75 වන ජාතික නිදහස් දින සැමරුම් පදක්කම’ සංකේතාත්මකව පළඳවනු ලැබීය.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තියත් සමඟ උත්සවයේ සමාරම්භය සනිටුහන් වූ අතර න්‍යායපත්‍රානූකූලව ප්‍රථමයෙන් මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් නිශ්ශබ්දතාවයක් පැවැත්වීය. ඉන් අනතුරුව, ‘75 වන ජාතික නිදහස් දින සැමරුම්’ පදක්කම පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදුකිරීමෙන් අනතුරුව සංකේතාත්මකව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ සුරතින් ‘75 වන ජාතික නිදහස් දින සැමරුම්’ පදක්කම පළඳවනු ලැබීය.

‘විශිෂ්ඨ සේවා විභූෂණ’ පදක්කම සඳහා වූ කෙටි හැඳින්වීම සිදුකර වසර 25 කට අධික කාලයක් මවුබිම වෙනුවෙන් සේවය කළ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 77 දෙනා වෙත අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ සුරතින් ගෞරවනීය ‘විශිෂ්ඨ සේවා විභූෂණ’ පදක්කම පළඳවනු ලැබීය.

පදක්කම් පිරිනැමීමෙන් අනතුරුව, මෙම අභිමානවත් අවස්ථාව සනිටුහන් කරමින් සියලුම පදක්කම්ලාභින් අතිගරු ජනාධිපතිතුමන් සමඟින් සමූහ ඡායාරූපයන් සඳහා සහභාගී වූහ.

මෙම අභිමානවත් උත්සව අවස්ථාව සඳහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික අරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මැතිතුමන්, ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මැතිතුමන්, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ විශ්‍රාමික හා සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.