Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd January 2023 16:50:39 Hours

මැලේසියානු රොටරි සමාජයේ සාමාජිකයන් යුද්ධ හමුදාවේ ප්‍රජා මූලික ව්‍යාපෘති පිළිබඳ සොයාබලයි

ශ්‍රී ලංකා රොටරි සමාජයේ ආරාධනයකට අනුව මැලේසියාවේ රොටරි දිස්ත්‍රික් 3030 හි රොටරි සමාජ සාමාජිකයන් 16 දෙනෙකුගෙන් සමන්විත මැලේසියානු රොටරි සමාජ කණ්ඩායමක් පසුගිය සිකුරාදා (20) දින ශ්‍රී ලංකාවේ රොටරි දිස්ත්‍රික් 3220 හි සිදුකළ සංචාරය අතරතුර ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයේ සංචාරයක නිරතවිය.

ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මැලේසියානු රොටරි සමාජ කණ්ඩායම, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් මාණ්ඩලික ප්‍රධානි බ්‍රිගේඩියර් ධම්මික කරුණාපාල විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

මෙහිදී සිදුකළ සුහද සාකච්ඡාව අතරතුර, යුද්ධ හමුදා සාමාජිකයන්ගේ වත්මන් රාජකාරීන්, ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ඔවුන් සිදුකරනු ලබන කැපවීම සහ යාපනය අර්ධද්වීපයේ සිවිල් සමාජය සහ හමුදා සාමාජිකයන් අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන විවිධ සංවර්ධන ව්‍යාපෘති වැනි කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරනු ලැබීය.

සංචාරයේ නිරත දූත පිරිස සමඟ සිදුකළ සාකච්ඡාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූහ.

රොටරි සමාජයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙරී ඩැනියෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිස අඩු ආදායම්ලාභී සිසුන් සඳහා ඉංග්‍රීසි භාෂා පන්ති පැවැත්වෙන ටී හන්දියේ ‘අම්බලම’ ගොඩනැගිල්ල නැරඹීමට ගියහ. පලාලි රජයේ දමිළ මිශ්‍ර පාසලේ සිසුන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට පෙර සංචාරයේ නිරත ධූත පිරිස ඉංග්‍රීසි භාෂා අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ සහ පොත් පරිත්‍යාග කළහ.

සංචාරයේ නිරත දූත පිරිස යුද්ධ හමුදා කඳවුරු කිහිපයක් වෙත ගොස් සිවිල් ප්‍රජාව මූලික කරගත් ව්‍යාපෘති පිළිබඳව අදාළ බලධාරීන් සමඟ අදහස් හුවමාරු කරගත්හ.