Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd January 2023 16:10:39 Hours

විශ්‍රාම ලබන ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනෙකුට ගෞරවාචාර

ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ හා කැපවීමෙන් කටයුතු කළ නිලධාරින් තිදෙනෙකු වන වසර 33 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබන මේජර් ජෙනරාල් ලාල් විජේතුංග, වසර 32 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබන බ්‍රිගේඩියර් නිශාන්ත ජයසුන්දර සහ වසර 31 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබන බ්‍රිගේඩියර් ජූඩ් පෙරේරා වෙත සමුදීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (21) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව පැවති මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයන් විශාල පිරිසක් සහභාගී වූහ.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වන දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න ගේ පිළිරුවට පුෂ්පෝපහාර පුදකිරීමෙන් පසුව ඔවුන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාර පුදකරමින් උත්සවයේ ආරම්භය සනිටුහන් කරනු ලැබීය. ඉන් අනතුරුව, ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු විසින් මෙම අවස්ථාවට සපැමිණි විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිළිගනු ලැබූහ.

විශේෂ පීඨිකාවේ සිටි විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත රෙජිමේන්තු වර්ණවලින් සමන්විත පෙළපාලියේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ඔවුන් තිදෙනා භටපිරිස් ඇමතූහ.

උත්සවයේ තවත් එක් අංගයක් ලෙස එම රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි සෙසුනිල භෝජනාගාර පරිශ්‍රයේදී සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.

යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් සංවිධානය කරනු ලැබූ රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් විය. මෙම අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තුවේ නිලධාරින් රැසක් ද සහභාගී වූහ.