Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2023 19:58:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් භටපිරිස් සම්බන්ධීකරණයෙන් පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන පාබල සේනාංකයේ 593 පාබල බලසේනාවේ භටපිරිස් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය (වර්ෂ 1975-1980 ආදි ශිෂ්‍ය කණ්ඩායම) විසින් කෝකිලායි දමිළ මිශ්‍ර පාසලේ සහ කෝකිලායි සිංහල පාසලේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල අධ්‍යාපනය ලබන පාසල් සිසුසිසුවියන් 76 දෙනෙකු වෙත අත්‍යාවශ්‍ය පාසල් පොත්පත් ඇතුළු අනෙකුත් පාසල් උපකරණ තොගයක් ඉකුත් සිකුරාදා ( 13) දින කෝකිලායි සිංහල පාසලේදී පිරිනමනු ලැබීය.

මෙම සමාජ සත්කාරක වැඩසටහන මගින් එම පාසල්හි අධ්‍යාපනය ලබන සිසුසිසුවියන් 76 දෙනෙකු වෙත රුපියල් 7500.00 ක වටිනාකමකින් යුත් පාසල් පොත්, අධ්‍යාපනික උපකරණ ඇතුලත් පාර්සල් බෙදාදෙන ලද අතර, බෙදා දුන් පාර්සල්වල මුළු වටිනාකම රුපියල් පන්ලක්‍ෂ හැත්තෑ දහසකි (රු.570,000.00 )

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් ගේ මඟපෙන්වීම යටතේ 59 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 593 බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි 19 වන ගැමුණු හේවා බලකායේ සහ 5 වන (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව මෙම සමාජ සත්කාරක වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ (වර්ෂ 1975-1980 ආදි ශිෂ්‍ය කණ්ඩායම) අනුග්‍රාහක නියෝජිතයින්, පාසල් විදුහල්පතිවරුන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ගුරුභවතුන් පිරිසක් ද සහභාගී වූහ.