Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2023 20:05:21 Hours

භූ - දේශපාලනික ගැටලු පිළිබඳව රචිත ‘Story of The World’ කෘතිය එළිදක්වයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි කරනු ලබන කර්නල් නලින් හේරත් විසින් රචිත ‘ස්ටෝරි ඔෆ් ද වර්ල්ඩ් : ජියෝපොලිටිකල් එලයන්සස් ඇන්ඩ් රයිවල්රීස් සෙට් ඉන් ස්ටෝන්’ (Story of the World: Geopolitical Alliances and Rivalries Set in Stone) කෘතිය රොක්හවුස් හමුදා කඳවුරේ පැවති උත්සවයකදී පසුගිය බ්‍රහස්පතින්දා (12) දින එළිදැක්විණි. එම උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් ජී.ඩී.එච් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු ආරාධිතයින් පිරිසක් සහභාගී වූහ.

මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සව අවස්ථාව වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහභාගි විය.

උත්සවය ආරම්භ කරමින් ප්‍රධාන දේශනය කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨයේ උපාය මාර්ගික අධ්‍යයන අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරින්ද විදානගේ විසින් සිදු කළ අතර, අනතුරුව බ්‍රිගේඩියර් ශ්‍රී මුදන්නායක (විශ්‍රාමික) විසින් දේශපාලන ක්‍ෂේත්‍රයේ පැතිකඩයන් සහ එළිදක්වන ලද නව ග්‍රන්ථය පිළිබඳව කරුණු රැසක් විවරණය කරමින් විශේෂ ආරාධිතයාගේ දේශනය සිදුකරන ලදී.

මෙම උත්සව අවස්ථාවේදී කෘතියෙහි කතුවරයා වන කර්නල් නලින් හේරත් විසින් සිය නව කෘතියේ පිටපත් කිහිපයක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙ‍නරල් ජී.ඩී.එච් කමල් ගුණරත්න (විශ්‍රාමික),‍ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙ‍නරල් රංජන් ළමාහේවගේ (විශ්‍රාමික), ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ධනුෂ්ක රාමනායක, ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් අමල් කරුණාසේකර (විශ්‍රාමික), ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග (විශ්‍රාමික), ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් සහ තවත් කිහිප දෙනෙකු වෙත පිළිගන්වන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් ද සහභාගී වූහ.