Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2023 19:51:14 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලෙහි 38 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලෙහි අභිමාවත් 38 වැනි සංවත්සර සැමරුම ආගමික වතාවත් මධ්‍යයේ සහ හමුදා සම්ප්‍රදායානුකූලව ජනවාරි මස 9 වන දින සිට 13 වන දින දක්වා සමරන ලදී.

සංවත්සර සැමරුම් උත්සවය ආරම්භ කරමින් ජනවාරි මස 9 වන දින පොලොන්නරුව රෝමානු කතෝලික දේවස්ථානයෙත්, කදුරුවෙල ජුම්මා මස්ජිඩ් මුස්ලිම් පල්ලියෙත්, මනන්පිටිය හින්දු කෝවිලේදීත් පැවැති ආගමික වැඩසටහන් වලදී මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලෙහි සියළුම යුද්ධ හමුදා සහ සිවිල් සාමාජිකයන් වෙත ආශිර්වාද එක්කරන ලදී.

අනතුරුව ජනවාරි මස 10 වන දින ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා විසින් සෙත් පිරිත් සජ්ඣායනා කර මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලෙහි සියළුම යුද්ධ හමුදා සහ සිවිල් සාමාජිකයන් වෙත ආශිර්වාද එක්කරන ලද අතර, ඉන් අනතුරුව මහා සංඝරත්නයේ දස නමක් උදෙසා සංඝගත දක්‍ෂිනාවක් පිරිනමනු ලැබිණි.

ඉන් අනතුරුව, මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලෙහි රාජකාරිකරනු ලබන නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 98 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලයේද සහාය ඇතිව එම රෝහලේ අවශ්‍යතාවය සඳහා සිය රුධිරය පරිත්‍යාග කළහ.

සංවත්සර දිනයට සමගාමීව ජනවාරි මස 13 වන දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි එම පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

ඉන් අනතුරුව පැවති සියලු නිල භෝජන සංග්‍රහයකින් අනතුරුව මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.