Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st December 2022 12:33:46 Hours

24 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් විපුල චන්ද්‍රසිරි ඉරිදා (01) දින අම්පාර ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදී ධුරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් විපුල චන්ද්‍රසිරි වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

බ්‍රිගේඩියර් විපුල චන්ද්‍රසිරි සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරනු ලැබීය.

නව සේනාංකාධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව එම සේනාංකයේ සියලු නිලයන් ඇමතූ අතර එහිදී, සේනාංකයේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමන්ගේ දැක්ම පිළිබඳව පැහැදිලි කරනු ලැබීය.

මෙම අවස්ථාවට 24 වන සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.

නව ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීමට පෙර බ්‍රිගේඩියර් විපුල චන්ද්‍රසිරි කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක හා පරිපාලන නියෝජ්‍ය උපකුලපති ලෙස කටයුතු කරනු ලැබීය.