Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2022 21:30:23 Hours

නත්තල් දිනය වෙනුවෙන් යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් සමාජ සත්කාරක වැඩසටහන් රැසක්

නත්තල් දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 572 වන බලසේනාවේ භටපිරිස්හි මූලිකත්වයෙන් ධර්මපුරම් ප්‍රදේශයේ ‘නාමවාසී’ වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 25 දෙනෙකු වෙත ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීම පසුගිය ඉරිදා (25) දින සිදුවිය.

572 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් සිදුකරන ලද මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා 572 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් තුෂාන් විමලසේන ඇතුළු එම බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අණදෙන නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

මේ අතර, 661 වන බලසේනාවේ භටපිරිස් විසින් පුනරීන් ශාන්ත මරියා දේවස්ථානයේ පැවති නත්තල් කැරොල් ගී ප්‍රසංගය සඳහා සහයෝගය ලබාදෙන ලදී. එහිදී, 661 වන බලසේනාවේ සහ 22 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් එක්ව දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කර, නත්තල් උත්සවයට සහභාගි වන බැතිමතුන් සඳහා තාවකාලික නවාතැන් පහසුකම් සලසා එම බැතිමතුන් වෙත සංග්‍රහ කටයුතු සිදුකරනු ලැබීය.

571 වන බලසේනාවේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චමින්ද ගම්ලත් විසින් ලබාදුන් උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් මූලිකත්වයෙන් නත්තල් දිනයට සමගාමීව ගුඩ් ෂෙපර්ඩ් කන්‍යාරාමයේ නේවාසිකව සිටින ළමුන් 33 දෙනෙකු වෙත ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පරිනැමීමෙන් අනතුරුව පාසල් උපකරණ පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය.

මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් නලින් ජයවර්ධන සහභාගී වූ අතර, මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය කැනඩාවේ පදිංචි දානපතිනියක වන බෙනට් තෝමස් (Mrs. Bennet Thomas) මහත්මිය විසින් ලබාදෙන ලදී.