Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th December 2022 17:50:01 Hours

නව නාවික හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා හරසර මධ්‍යයේ යුද්ධ හමුදා මූලස්ථානය වෙත පිළිගැනේ

නාවික හමුදාධිපති ලෙස අභිනවයෙන් රාජකාරි ඇරඹූ වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා බදාදා (28) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව නාවික හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා මූලස්ථාන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.කේ.ආර්. පෙරේරා විසින් එතුමන් යුද්ධ හමුදා මූලස්ථානය වෙත මහත් හරසරින් පිළිගනු ලැබීය.

අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරය පිළිගැනීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි නාවික හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කරනු ලැබූ අතර, එහිදි ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් නාවික හමුදාධිපතිතුමන් වෙත ගෞරවාචාර පුදකරනු ලැබූහ.

යුද්ධ හමුදාධිපති ලේකම් කාර්යාලය වෙත සපැමිණි නාවික හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් නව නාවික හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැටුව යනු ලැබූ අතර එහිදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් එතුමන් සිය කාර්යාලය වෙත උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ නව නාවික හමුදාධිපතිතුමන් අතර පැවති සුහද සාකච්ඡාවේදි ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සිදුකරනු ලබන කර්තව්‍යයන්හිදී සමීප සබඳතා පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡා කරනු ලැබූ අතර ත්‍රස්තවාදීන් හමුවේ මව්බිමේ ඒකීයභාවය සුරැකීම සඳහා වසර ගණනාවක් පුරාවට සිදුකරනු ලැබූ ප්‍රයත්නයන් පිළිබඳව ද සිහපත් කරනු ලැබීය. මෙම සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නව නාවික හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරමින් සිය අනාගත රාජකාරි කටයුතු සාර්ථක කරගැනීම සඳහා සුබපැතුම් එක්කරනු ලැබීය. පසුව, නාවික හමුදාධිපතිතුමන් විසින් ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම යුද්ධ හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2022 දෙසැම්බර් මස 18 දින වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන හමුදාධිපති ලෙස පත්කරනු ලැබීය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 5 යටතේ වර්ෂ 1987 දී කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා විධායක ශාඛාවට බැඳුණු වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ත්‍රිකුණාමලය නාවික හා සාගර විද්‍යාපීඨය තුලින් නාවික පුහුණුව සාර්ථකව නිමකරන ලදී. එතුමන් වර්ෂ 1989 දී වැඩබලන උප ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය තුලින් ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධියෙන් ද පිදුම් ලැබීය.

ක්ෂේත්‍රයේ දැක්වූ රණශූරත්වය හේතුවෙන් රණශූර පදක්කමෙන් තෙවරක් පිදුම් ලැබූ වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ නොකැළැල් සේවය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කම ද පිරිනමනු ලැබීය. වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා කොළඹ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු ද වේ.