Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd December 2022 21:26:07 Hours

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න වෙත කමාන්ඩෝ රෙජිමේන්තුවේ ගෞරවාචාරය

1 වන බලකාය යටතේ ස්ථාපිත 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ශානක රත්නායක ගේ උපදෙස් මත නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් ඉකුත් ඉරිදා (18) දින පැවැත්විණි.

මෙම අවස්ථාවට සපැමිණි මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න වෙත හමුදා සම්ප්‍රදායානුකූල කදවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 53 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, එම මූලස්ථානයේ සරඹ භූමියේදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය භටපිරිස් විසින් පුදකරන ලදී.

කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රණවිරු ස්මාරකය අභියසදී දිවංගත වීරෝදාර කමාන්ඩෝ සාමාජිකයන් වෙත පුෂ්පෝපහාර පුදකළ මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. අනතුරුව, භටපිරිස් ඇමතූ විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් කමාන්ඩෝ භටයින්ගේ ඉතිහාසය සහ එතුමන්ගේ පැරණි මතකයන් පිළිබඳ සිහිපත් කළේය.

පසුදිනයේදී, කමාන්ඩෝ සාමාජිකයන් විසින් එම මූලස්ථානයේ ප්‍රධාන දොරටුව දක්වා ඇති මාර්ගය දෙපස සිට මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න වෙත සිය ගෞරවාචාරයන් පුදකළහ.

මෙම අවස්ථාව සඳහා 53 වන සේනාංකයේ සේනාංකාධිපති, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි, කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කමල් ධර්මවර්ධන ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.