Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd December 2022 21:33:34 Hours

55 වන සේනාංකයේ සංවත්සරය වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහන් රැසක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ 26 වන සංවත්සර දිනය වෙනුවෙන් දෙසැම්බර් මස 15 දින සිට 18 දින දක්වා සර්ව ආගමික වැඩසටහන් කිහිපයක් පැවැත්විණි.

සර්ව ආගමික වැඩසටහන් ආරම්භ කරමින් ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින 55 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ප්‍රමුඛ එම සේනාංකයේ භටපිරිස් ජය ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේදී විශේෂ පූජාවන් පැවැත්වූහ.එමෙන්ම, පසුගිය සිකුරාදා (16) දින එම සේනාංක මූලස්ථානයේදී තවත් බෝධිපූජා වැඩසටහනක් සහ සෙනසුරාදා (17) දින මුල්ලියන් අම්මාන් කෝවිලේදී හින්දු ආගමික වැඩසටහනක් ද පවත්වමින් එම සේනාංකයේ සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද එක්කළහ.

සංවත්සර සැමරුමේ සමාප්තිය සනිටුහන් කරමින් පසුගිය ඉරිදා (18) දින ශාන්ත මරියා දේවස්ථානයේදී කතෝලික දේව මෙහෙයක් ද පැවැත්විණි.

සංවත්සර සැමරුම වෙනුවෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන් සඳහා 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ඇතුළු එම සේනාංකයේ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.