Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2022 19:36:10 Hours

ධර්මපාල විද්‍යාලයේ 82 වන නිර්මාතෘ දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් ලංකා අමරපාල සහභාගී වේ

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිනි මහේෂිකා රූපසිංහ මහත්මියගේ ආරාධනයකට අනුව එම විද්‍යාලයේ 82 වන නිර්මාතෘ දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල සහභාගී වූවේය.

විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩායම විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත උපහාර සහ ගෞරවාචාර පුදකිරීමෙන් අනතුරුව එතුමන් එම විද්‍යාලයේ නිර්මාතෘ වන අනගාරික ධර්මපාලතුමන්ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර පුදකර ගෞරවාචාරය ද පුදකළේය.

‘විශිෂ්ඨ නායකත්වයක් සඳහා ඉදිරි පෙළ අනාගත පරපුර’ යන තේමාව ඔස්සේ එම විද්‍යාලීය ශිෂ්‍ය නායකයින් සහ ජ්‍යෙෂ්ඨ සිසුන් වෙත හරවත් දේශනයක් පැවැත්වූ මේජර් ජෙනරල් ලංකා අමරපාල මත්ද්‍රව්‍ය උවදුර වැනි සාම්ප්‍රදායික නොවන කාලීන තර්ජනයන්ට මුහුණ දීමේදී නායකත්ව ගුණාංග ප්‍රවර්ධනය කරගැනීමේ වැදගත්කම පිළිබඳව ද කරුණු අවධාරණය කළේය.

එම දේශනය සමාප්තියේ විදුහල්පතිතුමිය විසින් සියලුම ගුරුවරුන් සහ සිසුන් නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළාය. මෙම අවස්ථාවට පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් (පරිපාලන) සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ඇතුළු විද්‍යාලීය ආදි සිසුන් පිරිසක් ද සම්භාවනීය ආරාධිතයන් ලෙස සහභාගී වූහ.

නියෝජ්‍ය විදුහල්පති නිමල් වාසල මහතා විසින් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ස්තූති කථාව පැවැත්වීය. මෙම අවස්ථාවට විද්‍යාලීය කාර්ය මණ්ඩල සාමාජිකයින් ද සහභාගී වූහ.