Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2022 19:35:01 Hours

66 වන සේනාංකයේ 13 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් ජයවර්ධන ගේ මඟපෙන්වීම මත ආගමික කටයුතු සහ යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් එම සේනාංකයේ 13 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

සංවත්සර දිනයට ප්‍රථම, පුනරීන් ශාන්ත මරියා දේවස්ථානය, පල්ලිකුඩා මුරුගන් කෝවිල සහ කිලිනොච්චිය ජුම්මා මුස්ලිම් පල්ලියේදී ආගමික වැඩසටහන් පවත්වමින් එම සේනාංකයේ සේවයේ නියුතු සාමාජිකයන් වෙත ආශිර්වාද එක්කරනු ලැබීය.

සංවත්සර දිනයේදී 66 වන සේනාංකයේ කාර්ය මණ්ඩලය විසින් සේනාංකාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව ගනු ලැබූ සමූහ ඡායාරූපයකට ද එතුමන් එක්විය.

සේනාංකාධිපතිතුමන් භටපිරිස් ඇමතීමෙන් අනතුරුව සංවත්සර සැමරුම් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති දිවාභෝජන සංග්‍රහයකට ද එක්විය.