Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2022 20:14:06 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් නව ආඥාපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් දර්ශණ විජේසේකර පසුගිය බ්‍රහස්පතින්දා (15) දින එම මුලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත්වලට අනුකූලව හමුදා සම්ප්‍රදායානුකූලව සිය රාජකාරි කටයුතු භාරගත්තේය.

නව ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙත සපැමිණි මේජර් ජෙනරල් දර්ශණ විජේසේකර වෙත 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

මහා සංඝරත්නයේ සෙත් පිරිස් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් දර්ශණ විජේසේකර සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් නව ආඥාපති ලෙස නව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදි.

අනතුරුව, නව සේනාංකාධිපතිතුමන් විසින් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් පසුව හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් අමතනු ලැබීය. එහිදී කැපවීමෙන් යුතුව සිය රාජකාරිය නිසියාකාරව සිදුකරන මෙන් එම භටපිරිස් වෙතින් ඉල්ලා සිටි අතර, තම ඉදිරි දැක්මද පැහැදිලි කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 57, 59, 64 සහ 68 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි කටයුතු හෙබවූ මේජර් ජෙනරල් සංජය වනසිංහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරය සඳහා පත්කෙරිණි.