Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th December 2022 16:27:43 Hours

විශ්‍රාම දිවියට එළඹෙන 1 වන බලකායේ බලකාධිපතිතුමන් වෙත 58 වන සේනාංකයේ ගෞරවාචාරය

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් පුත්තලම පිහිටි 58 වන සේනාංක මුලස්ථානයෙහි අවසන් නිල සංචාරය සිදුකරන ලද අතර, එහිදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය සඳුදා (12) දින පැවැත්විණි.

කදවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහලගේ, එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ නිලධාරීන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එහිදී යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න විසින් සියලු භටපිරිස් අමතමින් 58 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි සිදුකරන ලද කාලය තුළ තමා වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් වෙත සිය කෘතවේදීත්වය පුදකරමින් ඔවුන්ගේ ඉදිරි කටයුතු සාර්ථකව සිදුකරගෙන යාමට සිය සුභාශීංෂනයන් එක් කළේය. අනතුරුව මේජර් ජෙනරල් විපුල ඉහළගේ විසින් මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න වෙත විශේෂ සමරු තිළිණයක්ද ප්‍රදානය කරමින් 58 වන සේනාංකය වෙත එතුමන් ලබාදුන් සහයෝගය අගය කරන ලදී.

උත්සව අවස්ථාව අතරතුර පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වූ මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න එම අවස්ථාවට එක්ව සිටී භටපිරිස් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.